Tuesday, May 23, 2017

සීගිරියේ හෝටල් හදනවට විරුද්ධ වුණාට ‘කටුගෙට’ යවන්න හදන පුරාවිද්‍යා කොමසාරිස්


ශ්‍රී ලංකාවේ පවතින අතිශය වටිනාකමින් ඉහළ කෞතුක වස්තු කීපයක් දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කිරීමට අගමැතිවරයා එකඟ විය. කෞතුක භාණ්ඩ විදෙස් ගත කරවීමේදී ඒවායේ ආරක්ෂාව පිළිබඳවද ගැටලුවක් මතු වේ. කෞතුක භාණ්ඩ කැඩී බිඳී යෑම මෙන්ම කෞතුක වස්තු වෙනුවට ව්‍යාජ භාණ්ඩ මාරු කිරීමට ඉඩකඩ ඇති බැවින් ආවාට ගියාට ඒවා විදෙස් ප්‍රදර්ශනවලට යවන්නට නොහැකිය. අවසානයේ කෞතුක භාණ්ඩ විදෙස් ගතකළ හැකි වන්නේ ඉතා බරපතළ කොන්දේසි යටතේය. එසේ යවනවා නම් යවන්නේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුතු සඳහා පමණි. මේ සියල්ල සලකා බලා කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත්, පුරාවිද්‍යා විද්වතුන්ගේත් විරෝධය නිසා පුරාවස්තු කොරියානු ප්‍රදර්ශනයට යැවීම වැළැකිණි. දේශපාලනික සබඳතා තහවුරු කර ගැනීමට පුරාවස්තු යැවීමේ නාටකයද එතැනින් අවසාන විය.
කෞතුක වස්තු, කෞතුකාගාරයේ පිහිටීම හා ඒ භූමියේ පවතින ඉඩකඩ අනුව කෞතුකාගාරයට හෙළන ආර්ථික බැල්ම එතැනින් නැවතුණේ නැත.

පෞද්ගලික සංවිධානයක් යැයි කියාගනිමින් කොළඹ කටුගෙය ඉදිරිපස මිදුල කොටස විලාසිතා දැක්මකට ඉල්ලා ඇති බව පසුගිය මාස කිහිපයකට පෙර දා පුවත් මවන සිදුවීමක් විය. කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත් පුරාවිද්‍යා පිළිබඳ විද්වතුනුත් එකහෙළා පැවැසුවේ එවැනි කාර්යයක් සඳහා කෞතුකාගාර පරිශ්‍රය ලබාදිය නොහැකි බවයි. එහෙත් අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කෞතුකාගාර භූමිය මේ විලාසිතා ප්‍රදර්ශනයට ඉඩ ලබාදිය යුතු බවට නිගමනය විය. අගමැතිවරයාගේ පැත්තෙන් කෞතුකාගාර පරිශ්‍රය විලාසිතා දැක්මකට ලබාදීමට කොළ එළිය පත්තු කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රතු එළිය පත්තු කළේය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කෞතුකාගාර භූමිය විලාසිතා දැක්මකට යොදා ගැනීම වළක්වන ලදී.

ඊළඟට කෞතුකාගාර කොළඹ නගරයේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ යෝජනාවක් අගමැතිවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරික කටයුත්තකට කෞතුකාගාරය යොදා ගැනීම මෙහි අරමුණ විය. මේ සඳහා ප්‍රබල ව්‍යාපාරිකයකු සම්බන්ධ භාරයක් පිහිටුවාගත් ආයතනයක් මුල් වූයේය. එහෙත් මේ ආයතනය භාරකාර මණ්ඩලයේ අනුමැතිය හෝ පුණ්‍යාධාර ආයතනයක් විදියට ලියාපදිංචි වී නොතිබිණි. අඩුම ගණනේ කෞතුකාගාරය කොළඹ නගරයේ සංචාරක කේන්ද්‍රස්ථානය කිරීම කියන යෝජනාවට අනුව අදාළ ක්‍රියාවලිය සිදුවන විටදීවත් මෙවැනි ආයතනයක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම්පත්‍ර මහා භාරකාර මණ්ඩලයට ඉල්ලීම් ලැබී තිබුණේ නැත. එසේ වුවත් මේ ක්‍රියාවලියට අදාළ කැබිනට් පත්‍රය අනුමත කරගෙන තිබිණි. එහිදී මේ ආයතනයට කෞතුකාගාරයෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටත් සංචාරක කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කිරීමට වසර තුනක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලැබුණේය.

මේ කටයුතු සිදුවන විට අදාළ ආයතනය කෞතුකාගාර භූමිය මැනීමට මිනින්දෝරුවන් එව්වේය. එම මැනීම් කටයුතුවලට කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ඉඩ ලබාදුන්නේ නැත. ඉන්පසුව අදාළ ආයතනයේ නියෝජිත කණ්ඩායමක් ආවේ කෞතුකාගාරයේ බිම් සැලැස්මට අදාළ බිම් ලේඛන ලබා ගැනීමටය. කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ඒවා ලබාදුන්නේද නැත.

එහෙත් මේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය ලැබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ක්‍රියාවලිය දිගින් දිගට ක්‍රියාත්මක විය. මේ ක්‍රියාවලිය සම්බන්ධ නීත්‍යනුකූල වගකීම ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාටය. ඔහුගේ හැසිරීම අනුව ඔහුට පුරාවස්තු පිළිබඳව හෝ කෞතුකාගාරය හෝ රාජ්‍ය දේපොළ සම්බන්ධ අවබෝධයක් තිබේදැයි සැක සහිත විය.
මේ ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ව්‍යාපාරික ආයතනයේ නියෝජිතයන් සමඟ වරින් වර සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන්ව කැඳවීම් කළේය. මේ කටයුත්තට කෞතුකාගාරයේ විෂයභාර අතිරේක ලේකම් විරුද්ධ බැවින් ඔහු වෙනුවට වෙනත් විෂයක් භාර ලේකම්වරයකු මේ රැස්වීම්වලට සහභාගි කිරීමට නම්කර තිබිණි. රැස්වීම් මවු භාෂාවෙන් නොපැවැත්වෙන අතර නම් කරන ලේකම්වරයාට භාෂා ගැටලුවක් ඇති බැවින් මේ රැස්වීම්වලට සහභාගි නොවන බවක් දන්වා තිබිණි. ඒ වෙනුවට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරියකු හෝ අමාත්‍යාංශයේ වෙනත් කනිෂ්ඨ නිලධාරියකු රැස්වීම්වලට සහභාගි කරවනු ලැබීය. එහිදී රැස්වීම්වලට යවන කනිෂ්ඨ නිලධාරීන්ට ඒ සම්බන්ධව කතා කිරීමට බලයක් නොමැති බැවින් පෞද්ගලික ව්‍යාපාරික අවශ්‍යතා අනුව කටයුතු සිදුවෙමින් ඇත.

මේ ව්‍යාපාරික කටයුත්තට විරුද්ධ වීම නිසා කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත් මේ වනවිට දැඩි අර්බුධයකට මුහුණ දී සිටිති.

කෞතුකාගාරය පමණක්් නොව පුරාවිද්‍යාත්මක වටිනාකම මෙතෙක් යැයි කියා මැනිය නොහැකි ලෝකප්‍රකට සීගිරියද පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සල්ලි මවන උල්පතක් කරන්නට යන ව්‍යායාමය ආණ්ඩුව අත්හැර නැත. ඒ අනුව සීගිරිය, කලුදිය පොකුණ පරිශ්‍රයේ කටාරම් සහිත ලෙන් දෙකක් ව්‍යාපාරිකයකුට දෙන්නට පිඹුරුපත් සැකසිණි. ඒ සංචාරක හෝටලයකටය. එහෙත් ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාගත යුත්තේ පුරවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ගෙනි. පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සීගිරිය කළුදිය පොකුණ මේ ව්‍යාපාරික කටයුත්තට අනුමැතිය ලබා නොදීම නිසා ඔහුට දිගින් දිගට බලපෑම් පැමිණියේය.
සීගිරිය කළුදිය පොකුණ පරිශ්‍රය පමණක් නොව සීගිරියේ දකුණු ප්‍රවේශ ‍ෙදාරටුව අසල දිය අගලක් කපා ඒ ප්‍රදේශයේ සංචාරක ගිමන්හලක් හැදීමේ ව්‍යාපාරික කටයුත්තකට ද සූදානමක් තිබිණි. මේ පෞද්ගලික ව්‍යාපාරික ව්‍යාපෘතියට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණේ නැත.

මේ විරුද්ධකම් නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාට මේ ආයතනයට සම්බන්ධ දේශපාලන බලාධිකාරියේ ඉහළ තැනින් දිගින් දිගටම වාචික බලපෑම් එන්නට පටන් ගැනිණි. දේශපාලන අධිකාරිය ඔහුගේ ඉල්ලා අස්වීම අපේක්‍ෂා කරයි. එසේ නොවුණහොත් දැනට පුරාවිද්‍යා ප්‍රසම්පාදන කටයුත්තක සිදුවී ඇති අක්‍රමිකතාවකට චෝදනා කර ඔහුගේ සේවය අත්හිටුවන බව වාචිකව දන්වයි. පැන්ෂන් එකක් රහිතව ගෙදර යවන බව කියයි.

කෞතුකාගාරය, පුරාවිද්‍යාත්මක වස්තු හා පුරාවිද්‍යාත්මක ස්ථාන යනු ව්‍යාපාරික අවශ්‍යතාවලට යොදා ගන්නා ආයතන හෝ ස්ථාන නොවේ. එය රටක සංස්කෘතික විකාශනය පිළිබඳව අනාගත පරම්පරාවට කියාදෙන කැටපතකි. අනාගත පරම්පරා වෙනුවෙන් ඒවා ආරක්ෂා කිරීම ජනතාවගේ මෙන්ම බලයට පත්වන ආණ්ඩුවේද වගකීමකි.
නමුත් අපේ රටේ ආණ්ඩුවලට සංස්කෘතිය යනු අමාරුවෙන් කරපින්නාගෙන යන බරම බර තවලමක් පමණි. එක් පැත්තකින් සංස්කෘතිය දේශපාලනඥයන්ගේ නිධානයකි. සංස්කෘතිය ජනතාවගේ හදවතේ රුධිර පීඩනය වැඩි කරන නිලයකි. අවශ්‍ය වන්නේ වෙලාව බලා මඳක් උත්තේජනය කිරීම පමණි. මැතිවරණයකදී, ආණ්ඩු පෙරළියකදී, සංස්කෘතියේ මෙකී ප්‍රයෝජනය එක් පැත්තකින් ගන්නා විට ඔවුන් සංස්කෘතිකමය වටිනාකම හා එහි ජීවමාන සාක්ෂි තම හිතවතුන්ට විකුණා ආර්ථික ලාභ ගැනීමද අත්හරින්නේ නැත.
සංස්කෘතියේ ජීවමාන සාක්ෂි රැකගැනීමට ගිය පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එල්ල වී ඇති බලපෑම් හමුවේ ඔහු මේ ලිපිය ලියන මොහොත වන විට නිවාඩු පිට හිඳී. ඊළග මොහොතේ ඔහු ඉල්ලා අස්වනු ඇත. නොඑසේනම් ඔහුව සේවයෙන් පහ කිරීමට කටයුතු යෙදෙනු ඇත. සීගිරිය ලෝක උරුමය අවියත් ව්‍යාපාරික පරිශ්‍රයක් වනු ඇතිද? කෞතුකාගාරය හෝටලයක් වනු ඇතිද? කටුගෙයි කාමර පෙම් යුවළවලට කුලියට දේවිද?

ආණ්ඩුවේ උත්තර ඔව් වුණත් ජනතාව ඒ උත්තරය පිළිගන්නට සූදානම් නම් නැති බවත් ලියා තැබිය යුතුය.

රසිකා හේමමාලිතීරු ලිපි

http://mawbima.lk/print20170401MB20170630.php?id=13044#.WSJi7nWDjpE.facebook

Sunday, April 30, 2017

එහෙනම් එන්න.....


------------
ආදරණීය හිතවතුනේ.....
ඔබලා දන්න කියන උසස් පෙළට ඉතිහාසය කරන දරු දැරියන්ට 
මැයි 03 බදාදා හවස 3 සිට 5 දක්වා තියෙන 
මගෙ පන්තියට එන්න කියන්න.
ROYAL තැප්‍රෝබේනියන් 
නුගේගොඩ - විජේරාම



Saturday, April 29, 2017

එන්න අපි වැඩ පටන් ගන්නවා


එන්න අපි වැඩ පටන් ගන්නවා 
අප්‍රේල් 30 උදේ 8 ට
නුගේගොඩ - විජේරාමෙට


Sunday, April 23, 2017

ඉතිහාසය කනපිට හැරවූ සහශ්‍රකයේ මහා දාර්ශනිකයා



සුවිශේෂී හැකියාවන් හා ගුණාංග රාශියක එකතුවක් වූ මිනිසෙකුට හැර , පවත්නා සම්මත බල රටාවන්ට අභියෝග කල නොහැක. පවතින අධිපතිවාදී ජනපීඩක පාලන ක්‍රමය වෙනුවට වඩා යහපත් හෙට දවසක් මානව වර්ගයා වෙනුවෙන් ගොඩනැගීමේ උත්තුංග කර්තව්‍යට උරදීමට ඉදිරිපත් වීම ද පහසු කටයුත්තක් නොවේ. එවන් මිනිසුන් පිළිබඳව ඉතිහාස වංශ කතාව තුල, අනාගත පරපුරට ආඩම්බරයෙන් කතා කිරීමට ඉතිරි වී ඇත්තේ අතලොස්සකි.

මේ එවන් විශ්වීය චරිතයක් ගැන කෙටි විවරණයකි

ගෙවී ගිය සහසක්‍රයේ සිට විශිෂ්ටතම චින්තකයා ලෙස සැලකෙන්නේ කවුරුන්ද යන පැනය ඉදිරිපත් කරමින් 1999 සැප්තැම්බර් මස බී. බි. සි. ප්‍රවෘත්ති "ඔන් ලයින්" සේවය විසින් පවත්වන ලද ඡන්ද විමසීමේදී පළමු ස්‌ථානය හිමිවූයේ කාල්මාක්‌ස්‌ටය. දෙවැනි, තුන්වැනි සහ හතරවැනි ස්‌ථාන හිමිවූයේ පිළිවෙළින් ඇල්බට්‌ අයින්ස්‌ටයින්, අයිසැක්‌ නිව්ටන් සහ චාල්ස්‌ ඩාවින්ටය. 2005 වසරේ ඩී. බී. සී. ගුවන්විදුලිය, 4 විසින් ලොක්‌යේ ඉකුත් සියවසේ විසූ විශිෂ්ටතම දාර්ශනිකයා කවුරුන්දැයි විමසූ ඡන්දයේ දී ද පළමු ස්‌ථානය හිමිවූයේ කාල් මාකස්‌ටය.

විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල්මාක්‌ස්‌ 1818 මැයි මස 05 වැනිදා ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබුවේය. ඔහුගේ පියා නීතිවේදියකුවූ හෙන්රිශ් මාක්‌ස්‌ විය. මව ඕලන්දයේ උපත ලැබූ හෙන්රි යට්‌ටා නම්විය. 1835 වන තෙක්‌ මාක්‌ස්‌ ට්‍රීර් නගරයේ දී මූලික අධ්‍යාපනය ලැබුවේය. පසුව බොන් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යා අංශයට ඇතුළු විය. මාක්‌ස්‌ වැඩි වශයෙන් දර්ශනවාදය, ඉතිහාසය හා විද්‍යා විෂයන් පිළිබඳ දැඩි උනන්දුවක්‌ දැක්‌වූවේය. නිර්මාණශීලී සාහිත්‍ය සඳහා ද බොහෝ කාලයක්‌ මිඩංගු කළේය. දැනීම ලබා ගැනීම සඳහා නොසිඳෙන පිපාසයක්‌ද, ගැඹුරු ලෙස සත්‍ය සෙවීමද, තම කටයුතු පිළිබඳව ස්‌වයං විවේචනයද අරගලකාරී හා සටන්කාමී ජීව ගුණයද, තරුණ කාල්මාක්‌ස්‌ සතු විය. 18 වැනි ශත වර්ෂය අවසානයේ බ්‍රිතාන්‍යයේ ඇතිවූ කාර්මික විප්ලවයෙන්පසු යුරෝපා රටවල පැවැති රදල සමාජ සම්බන්ධතාවන්ගේ නටඹුන් බිඳ වැටීමට පටන්ගත් අතර, කාර්මික විප්ලවය යුරෝපා මහාද්වීපය පුරා ව්‍යාප්තවීම ආරම්භ විය. මහා ධනපති කර්මාන්ත සංවර්ධනයක්‌ සමඟ ගොවීහු සහ හස්‌ත කර්මාන්ත ශිල්පියෝ නිෂ්පාදන මාධ්‍යයන්ගේ කිසිවක්‌ අයිති නැති අනුකම්පා විරහිත සූරා කෑමට භාජනය වූ කුලී වැටුප් ලබන කම්කරුවන් බවට පරිවර්තනය වූහ. ඓතිහාසික සිද්ධීන් මුහුකුරා වැඩුණු එවැනි තත්ත්වයක්‌ තුළදී මාක්‌ස්‌ගේ මත සකස්‌ විය. යුරෝපා රටවල ධනවාදය තහවුරුවීම මගින් පන්ති අරගලය උග්‍රවීමටද, ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාතික විමුක්‌ති ව්‍යාපාරවල පුළුල් ව්‍යාප්තවීමකට ද, ධනපති ක්‍රමයට විරුද්ධව නැඟී සිටින්නාවූ නිර්ධන පංතියක්‌ ඓතිහාසික කරළියෙහි පෙනී සිටීමකටද, මං පාදමින් කම්රු නැගිටීම් වර්ධනය විය.

පීඩිත ජනතාව

1841 අප්‍රේල් මාසයේදී කාල් මාක්‌ස්‌ට දර්ශනවාදය පිළිබඳව ආචාර්ය උපාධිය හිමි විය. වැඩකරන ජනතාවගේ ජීවිතයේ ද්‍රව්‍යමය සහ ආර්ථික ප්‍රශ්න කෙරහි ගැඹුරු උවමනාවක්‌ දැක්‌වූ මාක්‌ස්‌ ඒ වනවිට පැවැති මනෝරාජිත කොමියුනිස්‌ට්‌වාදී අදහස්‌ පිළිබඳව පිරික්‍ෂා බැලුවේය. විද්‍යාව යටපත්කර ගැනීමට ආගම දැරූ සියලුම ප්‍රයත්න වලට සහ මිනිස්‌ විඥානය බැඳ තැබීමට ඉදිරිපත්වූ සියලුම ප්‍රයත්නවලට විරුද්ධව මාක්‌ස්‌ නැඟී සිටියේය. අහසේ සහ පොළොවේ සිටින සියලුම දෙවිවරුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන මාක්‌ස්‌ සටන්කාමී අදේවවාදියකු හා විප්ලවවාදියකු ලෙස පෙනී සිටියේය.

ලෝකයේ පීඩනයට පත්ව සිටින ජනතාව එයින් මුදා ගැනීමේ විද්‍යාත්මක දර්ශනයක්‌ සකස්‌ කිරීම සඳහා තම ජීවිතය කැප කළ කාල්ස්‌ මාක්‌ස්‌ ස්‌වකීය ද්‍රව්‍යවාදී දෘෂ්ටිය පදනම් කර ගත් ඔහුගේ න්‍යාය ජනතාවට පසක්‌ කරගත හැක්‌කේ එම න්‍යායෙන් ඔවුන්ගේ ඉතා වැදගත් අවශ්‍යතාවන් සහ ප්‍රධාන අයිතිවාසිකම් පිළිබිඹු වුවහොත් පමණකියි යන චින්තනය වර්ධනය කළේය.

සමාජවාදී න්‍යාය

මාක්‌ස්‌ගෙන් මානව වර්ගයාට සිදුවූ අගනා සේවය වන්නේ වැඩ කරන ජනතාවගේ ඓතිහාසික විමුක්‌තිකාමී කාර්යභාරය අරඹයා ප්‍රඥාව හා සංකල්පය සමාජවාදය මනෝරාජිත තත්ත්වයක සිට විද්‍යාවක්‌ දක්‌වා පරිවර්තනය කිරීමයි. වැඩි වැඩියෙන් පෑගී සිටින පංතියට සිය ජීවිතය කැප කළ මාක්‌ස්‌ට තමන්ගේ අදහස්‌වලට සම්පූර්ණයෙන්ම කැපවූ විශ්වාසවත් මිතුරකු වූ පෙඩ්රික්‌ ඒංගල්ස්‌ගේ සහයෝගය ලැබුණි.

කාල්මාක්‌ස්‌ ජාතීන් සහ ජනවර්ග අතර පැනනගින ප්‍රශ්න පිළිබඳව වැදගත් මූලධර්මයන් සම්පාදනය කළේය. වෙනත් ජාතියක්‌ පාගා සිටින ජාතියක්‌ නිදහස්‌ ජාතියක්‌ නොවන බවත් ජාතීන් අතර සමානාත්මකව හා නිර්දන පන්තියක ජාත්‍යන්තරවාදී මූලධර්මය ජාතීන් හා ජනවර්ග අතර පවත්නා ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ප්‍රතිපත්තියක්‌ බවත් එයින් විස්‌තර කරනු ලැබීය. කාල්මාක්‌ස්‌ හා පෙඩ්රික්‌ ඒංගල්ස්‌ ලියා පළ කළ "කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රකාශනය" මගින් මාක්‌ස්‌ගේ ඉගැන්වීම්වල සංයුක්‌ත කොටස්‌ තුන වූ දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, විද්‍යාත්මක සමාජවාදය, පිළිබඳ විස්‌තර කළේය. කම්කරු පංතිය විද්‍යාත්මක විප්ලවාදී න්‍යායකින් සන්නද්ධකොට වැඩ කරන ජනතාවගේ ස්‌වාධීන පක්‍ෂයකට අවශ්‍ය උපාය සහ උපක්‍රමවල පදනම දැමුවේද මාක්‌ස්‌ සහ ඒංගල්ස්‌ විසිනි. තම ඉගැන්වීම් ලෝකයේ වෙනස්‌ කිරීමේ අවිය ලෙස ගැලපූ මාක්‌ස්‌, සමාජවාදය කම්කරු පංති ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීමටත්, ධනපති සමාජ ක්‍රමය වෙනුවට විද්‍යාත්මක සමාජවාදී ක්‍රමය ඉදිකිරීමේ ඓතිහාසික කාර්යභාරය බාරව සිටින නිර්ධන පංතිය තම න්‍යායයෙන් සන්නද්ධ කිරීමටත් ක්‍රියා කළේය.

අධික වේගයකින් මොළය වෙහෙසා වැඩ කිරීම හා ආර්ථික අමාරුකම්වලට මුහුණපෑම නිසා දිනෙන් දින මාක්‌ස්‌ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය කලක්‌ සිටම පිරිහෙන්නට විය. මේ අතරතුර මාක්‌ස්‌ගේ බිරිඳ රෝගාතුරවීම ඔහුට ඇති බරපතල පහරක්‌ විය. 1881 දෙසැම්බර් මාසයේ 02 වැනිදා මාක්‌ස්‌ගේ බිරිඳ ජෙනී මිය ගියේය. 1883 පෙබරවාරි මාසයේ මාක්‌ස්‌ගේ රෝගී තත්ත්වය උත්සන්නවී ඔහුගේ ශක්‌තිය වේගයෙන් දුර්වලවන්නට විය. මාර්තු 14 වැනිදා දහවල් 02.45 ට පමණ හාන්සි පුටුවේ වාඩිවී සිටියදීම මාක්‌ස්‌ සදහටම නිහඬ විය. මාක්‌ස්‌ අවසන් කාලයේ ජීවත් වූ ලන්ඩන් නගරයේ පිහිටි හයිගේට්‌ සුසාන භූමියේ ඔහුගේ බිරිද වූ ජෙන් මිහිදන් කර තිබූ ස්‌තානයේම මාර්තු 17 වැනිදා මාක්‌ස්‌ගේ මෘතදේහය මිහිදන් කරන ලදී. එහිදී ඔහුගෙන් සමු ගනිමින් කථා කළ මාක්‌ස්‌ගේ කල්‍යාණ මිත්‍රයා වූ ඒංගල්ස්‌ තම මිතුරාගේ යෝධමය කටයුතු ගැන විස්‌තර කළේය. ඒවා අතර ඉතා විශේෂ ස්‌ථානයක්‌ හිමි වූයේ සැබවින්ම මාක්‌ස්‌ගේ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීමක්‌ වූ මිනිස්‌ ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ න්‍යාමය සහ අතිරික්‌ත වටිනාකම පිළිබඳ න්‍යාමය විය. මාක්‌ස්‌ ඉමහත් ප්‍රඥාවෙන් හෙබි චින්තකයකු පමණක්‌ නොව ශ්‍රේෂ්ඨතම විප්ලවාදියා බවත් ඒංගල්ස්‌ එහිදී පැවැසීය. තමාගේ ගුරුවරයා සහ මිතුරාවන මාක්‌ස්‌ගෙන් අවසන් වශයෙන් සමුගත් එංගල්ස්‌ සිය කතාව අවසන් කළේ අනාවැකියකිනි. " මාක්‌ස්‌ගේ නමත්" ඔහුගේ කාර්යභාරයත් ශත වර්ෂ ගණනාවක්‌ පවතිනු ඇත යනු ඒ අනාවැකිය විය.


           - චූලක බණ්ඩාරවත්ත -

කලා විෂය ධාරාව තුළ විෂයයන් තෝරා ගැනීමේ දී.....


කලා විෂයය ධාරාව තුළ විෂයයන් තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු මූලික කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරමු........
මෙහිදී විෂයයන් කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කරලා තියෙනවා. ඒ තමයි,

1. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් 
2. ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්
3. සෞන්දර්ය අධ්‍යයන විෂයයන්
4. භාෂා විෂයයන්

මෙහිදී විෂයයන් තේරීමේ දී විකල්පයන් ගණනාවක් තියෙනවා. ඒ අතර කීපයක් පහත පරිදි පෙන්නා දෙන්න පුළුවන්.....

1. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් වලින් විෂයයන් 3ක්ම තෝරා ගැනීමට පුළුවන්......
2. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් දෙකක් තෝරා ගනිමින් අනෙක් ඕනෑම කාණ්ඩයකින් එක් විෂයයක් තෝරා ගැනීමට පුළුවන්........
3. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් එකක් තෝරා ගනිමින් අනෙක් ඕනෑම කාණ්ඩයකින් විෂයයන් දෙකක් තෝරා ගැනීමට පුළුවන්........
4. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් කිසිවක් තෝරා නොගනිමින් භාෂා විෂයන් 3ක් ම තෝරා ගැනීමට ද අවස්ථාව පවතී.

මෙම මූලික විකල්ප මත පදනම් වෙමින් විෂයයන් තෝරා ගැනීමේ දී තවත් සැලකිිමත් විය යුතු කරුණු තිනෙවා. ඒ පිළිබඳවත් දැනුවත්ව ඔබගේ විෂයයන් තෝරා ගන්න උන්නදු වන්න. 


ඔබ තෝරා ගන්නා ඕනෑම විෂයයක් සඳහා නුගේගොඩදී නිෂ්චිත සහ පැහැදිලි මඟ පෙන්වීමක් සිදු වෙනවා 
අප්‍රේල් 30 පෙ.ව. 8.00 ට  රෝයල් තැප්‍රොබේනියන් හිදී.........
------------------------------------------------------------------------
භාෂා විෂයයන් 

++සිංහල++
උපුල් ශාන්ත සන්නස්ගල
Upul Sannasgala​

******************************************************
සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් 

++තර්ක ශාස්ත්‍රය++
රුවන් මාපලගම
Ruwan Mapalagama​

++ඉතිහාසය++
රුක්ෂිලා වෙත්තමුණි
Rukshila Wettamuni​

++දේශපාලන විද්‍යාව++
යාපා බණ්ඩාර
රවින්ද්‍ර අමරසිංහ
බුද්ධික අබේකෝන්

++සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය++
කපිල එම් ගමගේ
ප්‍රභාත් සෙනෙවිරත්න 
ගයාන් ඉද්දමල්ගොඩ

++තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය++
සමන් බණ්ඩාර හේරත්
Saman Bandara Herath​

++ගිණුම්කරණය++
රෝහාන් කෝදාගොඩ
Rohan Kodagoda

++ආර්ථික විද්‍යාව++
කසුන් සංජීව

************************************
ආගම් හා ශිෂ්ටාචාර විෂයයන් 

++බෞද්ධ ශිෂ්ටාචාරය++
අරුණ ගුණසේකර
Aruna Gunasekare​

*******************************************
සෞන්දර්ය අධ්‍යයන විෂයයන් 

++චිත්‍ර කලාව++
ප්‍රගීත් රත්නායක
Prageeth Rathnayake​

++නර්තනය++
ගීත් ප්‍රේමචන්ද්‍ර
රෝහිණි ස්වර්ණමාලී

++සංගීතය++
තිලිනි රැද්‍රිගු
Thilini Rodrigo​

++නාට්‍ය හා රංග කලාව++
ගයාත්‍රි මහේෂා ගුණරත්න
ජෙහාන් ශ්‍රි කාන්ත අප්පුහාමි
Jehan Appuhami​

සටහන - සමන් බන්ඩාර හේරත්

Sunday, April 9, 2017

ජීවිතේ තවත් එක් දවසක්.... 03



ජීවිතේ තවත් එක් දවසක්.... 03

බලාපොරොත්තු කියන්නෙ මිනිස්සුන්ව ජීවත් කරවන ප්‍රබල සාධකයක්. ඒ සාධකය අතරට ආදරය එකතු වුණාම ජීවිතය කොච්චර සුන්දර වේවිද.....
බස් එකට ගොඩ වුණාම මං බොහෝ විට ඉදගන්න කැමති අන්තිම පේළියෙ. එතකොට මුළු බස් එකේම ඇහැ දුවවන්න පුළුවන්. මං හරිම කැමතියි මිනිස්සුන්ගෙ ජීවිත වලට එබිලා බලන්න.දහඩිය පෙරා ගත්තු ඉතාම වෙහෙසකර මුහුණු. උදේ හිටංම දවසෙ වැඩ කන්දරාවක් එක්ක ඔට්ටු වෙලා තම තමන්ගෙ නවාතැන් කරා යන විවිධ මිනිස් ජීවිත. 
බලාපොරොත්තු පොදියක් කර පින්නගෙන රුපියල් පසුපස දුවන මිනිස්සු. ලැබෙන පඩියෙන් යාන්තම් දිවි ගැට ගහන්න උත්සාහ කරන ජීවිත. එකිනෙකා එක එක ලෝකවල. ඇතැම් අයගෙ මුහුණුවල සිනාව කියල නාමයක් නැහැ.
විවිධ ඉරියව් වලින් පෙම් කරන පෙම්වතුන්, දරුවෝ වඩා ගත්තු කාන්තාවො, කටගොන්නක් බී ගත්තු බේබද්දො, ජැක් ගහන්න එන පිරිමි, ඔය විදියෙ නානාවිධි මිනිස් ජීවිත අපට මුණ ගැහෙනවා බස්වලයි කෝච්චිවලයි යද්දි.
ආදරය කියන්නෙ ඇත්තටම ජීවත් වෙන්න තියෙන ආසාව වැඩි කරන ප්‍රධාන මෙවලමක් කිව්වොත් වැරැද්දක් නැහැ කියල හිතෙනවා.
මේ සියලු දුක්ක දෝමනස්සයන් අස්සේ ආදරය පිරුණු ජීවිතයක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද...
ඉතිං ආදරෙත් එක්ක ජීවිතේ තවත් එක් දවසකින් මුණ ගැහෙමු....
- රුක්ෂිලා වෙත්තමුණි -
        2017