Thursday, March 24, 2016

රාත්‍රිය හරි දිගුයි



මගෙ වචන වලට පණ දුන් ආදරණීය වෙදැදුරෝ දෙදෙනා....

 ජීවිතේ ඉතා සතුටුම අවස්ථාවක්.........

මං යළි ඉපදුණා කියලා දැනෙනවා. දයාන් අයියා කියන්නෙ මං තරුණ අවදියේ ඉදන්ම බොහෝ සෙයින් ආදරය කළ චරිතයක් සහ බොහෝ සෙයින් ආදරය කරන  හඬක්. ඉතිං ඒ ආදරණිය හඬින් මගෙ පළමු ගීතය ගැයෙනවා දකින්න තරම් මං කෙතරම් වාසනාවන්තද හැබෑටම.

ආදරණීය දර්ශන මල්ලී මානුෂිය ගුණ වලින් පිරිපුන් ඔබව මගෙ ප්‍රථම නිර්මාණයෙ සංගීත නිර්මාණය සඳහා දායක කර ගන්න ලැබීම කෙතරම් සතුටක්ද....

මේ තිලිණය ආදරණීය ඔබ සැමටයි..........!


උදා හිරු රැස් හෙමින්
කොහේ සැඟවුණිද දැන්
රාත්‍රිය හරි දිගුයි
ගෙවෙන්නෙම නැති හැඩයි

සුසුමකට පණ පොවයි
ඔබෙ සුවඳ රැඳුණු තැන්
නිදන්නට බැරි හැඩයි
දෙනෙත් මගෙ හරි බරයි

මේ විසල් කතර ඉම
යළි නොඑන බව දැනත්
දින දසුනෙ පිටු අතර
හිඳිමි මං මඟ බලන්

ගායනය - දයාන් විතාරණ
පද රචනය - රුක්ෂිලා වෙත්තමුණි
සංගීතය - දර්ශන වික්‍රමතුංග
නාද ශික්ෂණය - සඳරු ගමගේ

ගීතය ඇසීමට....




Wednesday, March 2, 2016

මාත් ආසයි අදරයෙ පාට තවරන්න


මාත් ආසයි අදරයෙ පාට තවරන්න.......
ආදරයට ආදරය කරන්න

ඇත්තටම ආදරය කියන්නෙ.........

ලකුණු ගෙවී ගිය
කාසියකි
වටිනාම
කිව නොහැකි.....

ආදරයට විවිධ නිර්වචන දෙන්න හැකියි. ඒත් ඇත්තටම ආදරය කරන්නෙ කොහොමද...
සමහර විට අපි කැමති අය අපට නොලැබී යන්න පුළුවන්. ඒත් හිතිං හරි ඒ අයට ආදරය කරන්න පුළුවන්....

ආදරය හරියට අලුත් වැස්සක් වගෙ.....

ඇට මස් ලේ නහර
සලිතව
උඩුදුවා
අලුත් වැස්සක්
ඇවිත්
නැවුම් පුසුඹකිං....

බොහෝ වෙලාවට ආදරය ඉදිරියේදී අපි රැවටෙනවා. ඒක හරියට සිහින වෙළෙන්දියක් වගෙයි...

රැවටුණා නේද
ආයෙමත්
ප්‍රේම මායාවෙ
හීනෙකට.....

සමහර වෙලාවට ඔවුන් ආදරය කරන්නෙ මෙහෙමයි..........

වැරදීමක්......

ඔහු
ආදරය කරන්න
පටන් අරගෙන
හදවතෙ
ගැඹුරුම තැනින්
මට නෙමෙයි
මගෙ විෂයට

ආදරයට අසම්මත ප්‍රේමයන් ඇවිත් ඩැහැ ගන්නවා...
හරියට මේ වගේ...

මද පවන
මාරුතයක්විත්
රැගෙන ගොස්
ජීවිතයම..........

අතීතය කියන්නෙ අඳුරට පෙම් බඳින්නක්. එළිය දකිද්දි බයයි. ආදරය ගැන ආවර්ජනය වෙන්නෙ මෙහෙමයි...

එළිය ඇති
හැම මොහොතකම
අඳුරෙ
ගුලි වෙන්න
හීන දකින
අතීතය

ආදරයෙන් පරාජය වුණාම වැස්සටවත් බැහැ ඇස් වලින් වැටෙන කඳුළු එක්ක ඔට්ටු අල්ලන්න.
හරියට මේ වගෙ.....

වැසි කඳුළු
අහස නුඹ කෙතරම්
හැඬුවත්
හැකිවේද
ජය ගන්න
මගෙ කඳුළු එක්ක....

ඒත් ආදරයක් නැති තැනකින් ආදරය පැතීම හරියට..........

තෙතමනක් නැති
හදකින්
ආදරය පැතීම
වළාකුලක් නැති
අහසින්
වැස්ස ඉල්ලීමකි....

ආදරය අපිව අත් හැරලා පලා යන්නෙ නිහඬවමයි.........
විවිධ පැහැයන් ගන්වලා ඒ පැහැයන් ආයෙමත් සොරා ගන්නවා...

පායාවිත් හඳ මඬලෙ
සොමි ගුණෙන් පුරවලා
නේක පැහැ ගන්වමින්
හැඩදමා එකලු කළ
ඔබ ගිහිං නිහඬවම...........

ආදරයෙන් පැරදුනාම ආරක්ෂාවෙන්න තැනක් හොයන්නෙ මෙන්න මෙහෙමයි.........

අතරමං වෙච්චි
තරු කැටයක්
සෙව්වා සෙමින්
සැඟවෙන්න
සුදු වළා රොදක්......

මේ මට ආදරය ගැන දැනෙන විධියයි.............

විටින් විට ලිව්ව කවි සංකල්පනා කිහිපයක්

- රුක්ෂිලා වෙත්තමුණි - 

2016 මාර්තු 03

තවත් කවි සංකල්පනාවන් බලා ගන්න මේ ලින්ක් එකෙන් ගොඩවෙන්න...