Sunday, December 25, 2016

ජීවිතේ තවත් එක් දවසක් - 02



බොහෝ කාලයකින් හිත නිදහස් වුණු නිසා පොතක් කියවන්න පටන් ගත්තා උදෙන්ම. කුරුල්ලන්ගෙ මිහිරි නාදය, නිදහස් වුණු හිතට තවත් අත්වැසිල්ලක්. මට මතක් වුණේ 'විභූතිභූෂණ බන්ද්‍යෙපාධ්‍යායගෙ', චින්තා ලක්ෂ්මි සිංහආරච්චි පරිවර්තනය කරපු 'අරණකට පෙම් බැඳ' කියන පොත.

පුංචි කාලේ ඉදලම පරිසරය එක්ක බද්ධ වෙලා හැදුණු වැඩුණු නිසාද මංදා මං ඒ පොතට පුදුම විදියට ආදරෙයි. කියවන්න ගත්ත පොත පැත්තක තියලා මං අරණකට පෙම් බඳින්න පටන් ගත්තා.
විභූතිභූෂණ තරම් අව්‍යාජ ලෙස, චිත්තාකර්ෂණීය ලෙස ස්වභාවික පරිසරය ගැන වර්ණනා කළ වෙනත් ලේඛකයෙක් නොමැති බවයි ඉන්දියානු විද්වතුන්ගෙ මතය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර්හි වනගත වතුයායක් මේ කතාව සඳහා පාදක වී තිබෙන්නෙ.
'ශාන්ත පරිසරයකදී ඇසෙන විලම්බ ලයකින් වාදනය වන, වස්දඬුවක මිහිරි ස්වර මාලාවක් ලෙසයි' මෙම ග්‍රන්ථය හඳුන් වන්නෙ.
දිනෙන් දින විනාශ වන සොඳුරු පරිසරයෙන් මිනිසා ඈත් වෙද්දි මෙවැනි පොතක් ඇත්තටම දිවි ඔසුවක් මනසට. ස්වභාවික සුන්දරත්වයට පමණක් සීමා නොවී එම පරිසරයෙ ජීවත් වන විවිධාකාර වූ මිනිසුන්ගෙ ජීවිත තුළට එබී ඔවුන් දෙස බලන දෘෂ්ටියට මං බොහෝ කැමතියි.
මේ කතාවේ පිවිසුමයි.
දවස පුරාම කාර්යාලයේ වැඩ කර වෙහෙස වූ මම නගරයේ බලකොටුව ළඟ ඇති පිට්ටනිය අයිනේ හිඳ ගතිමි.....
මාත් බොහෝ වෙලාවට විහාර මහාදේවී පාර්ක් එකට ගිහිං තනිවෙච්චි බංකුවක පැයක් දෙකක් ඉඳගෙන ඉන්න පුරුදු වෙලා හිටියා. විවිධාකාර මිනිස්සු මාව පසුකරගෙන යද්දි මං ඔවුන් දිහා බලාගෙන හිටියෙ ආසාවෙන්. ඒ අය අතරින්, අතින් කරින් වෙලුණු පෙම්වතුන් හා කුඩා දරුවන් තමයි මගෙ හිත පැහැර ගත්තෙ. කොළොම්පුරය සිසාරා හමායන ඒ සිසිල් සුළඟට මං බොහෝ පෙම් බැන්ඳා.
ජීවිතේ හුදකලාවට මං දැං ආදරෙයි. හරිම නිදහස්. තියෙන දෙයක් කාලා පොතක් පතක් බලාගෙන ඉන්න තියෙන එකත් එක්තරා සුන්දර අත්දැකීමක්.
මට වෙලාවකට හිතෙනවා මේ කතා පොතේ ඉන්න 'සත්‍යවරණ' ට වගෙ මටත් වනගත වතුයායක රැකියාවක් ලැබුණා නම් කියල.
දිනපතා අත් විඳින කොළඹ නරගයේ කර්කෂ ජීවිතයෙන් මිදී, බයිහාරයෙ මෙන් සඳ එළියෙන් ආලෝකමත් වූ, තිමිරයෙන් වැසුණු නිහඬ රාත්‍රියෙ වනය මැදින් දුවන ගෝනුන්ගේ පා හඬ අසන්නට, මිටියාවතෙ පිපුණු වර්ණවත් වන මල් වලින් සුසැදි පරිසරයක ජීවත් වන්නට ඇත්නම් කෙතරම් වාසනාවක්ද.


ජීවිතේ තවත් එක් දවසකින් හමුවෙමු.

- රුක්ෂිලා වෙත්තමුණි -
2016 - 12 - 24

Thursday, December 15, 2016

ජීවිතේ තවත් එක් දවසක් - 01



කියවීමට මිනිසා හුරුකළ මහගෙදරට ඒ කියන්නේ පිටකොටුවෙ එම්.ඩී. ගුණසේන සහ සමාගමට අද මං ගොඩ වුණේ මගෙ පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු සඳහා අතවශ්‍ය පොත් කිහිපයක් ගන්න කියලා හිතාගෙනයි.

රත්තරං බඩු කඩයකට හිස පොවන්නවත් අකමැති මං පොත් සාප්පුවකට රිංගන්නනම් බොහෝම කැමතියි.
පිටකොටුව, ගුණසේන සහ සමාගම කියන්නෙ මගෙ ළමා කාලය තුළ ඉතා සුන්දර අතීතයක් එක්කල ස්ථානයක්.
අපි පුංචි කාලේ පාසලට අවශ්‍ය සියලුම පොත් පත් ගන්න ගියෙ එහෙටයි. මගෙ අක්කලා දෙන්නටයි අයියටයි මටයි. තාත්තා පොත් ගේන්න යන දවසට මාත් කොහොම හරි තාත්තගෙ අතේ එල්ලිලා යනවා. අලුත් පොත්වල සුවඳ විඳින්න මං එදා වගේම අදත් මනාපයි.
තාත්තා අපි හතර දෙනාට අවශ්‍ය පොත්, පෑන්, පැන්සල්, පොත් කවර ඔය වගේ ගොඩාක් දේවල් ගද්දි කොහොමත් පැයක් දෙකක් ගත වෙනවා. ඒ වෙලාවට මං කරන්නෙ ළමා කතන්දර පොත් ගොන්නක අතරමං වෙන එකයි. කොහොම හරි පොත් 6 ක් 7 ක් කියවනවා. ඊට පස්සෙ කියවන්න ආස හිතුණු පොත් කිහිපයක් උස්සගෙන ඇවිත් තාත්ගෙ බිලට එකතුකර ගන්නවා කොහොම හරි. ඇත්තටම මට කියවන්න හුරු කළේ මගෙ ආදරණීය තාත්තා.
අද ආයෙමත් මං ඒ සුන්දර අතීතයට ගියා. කාලය බොහෝ වෙනස් වෙලා. මං වැඩිහිටි අවදියට අවතීර්ණ වෙලා. ඒත් ළමා කතන්දර පොත් දකිද්දි ඉස්සර වගේම ආයෙත් කියවන්න ආස හිතුණා. මං ඒ සුන්දර අතීතයත් එක්ක පොත් කිහිපයක් පෙරලලා බැලුවෙ පුංචි දරුවෙක් වගෙයි.
ගන්න හිතාගෙන ගිය කිසිම පොතක් මට හොයා ගන්න නම් බැරි වුණා. ඒත් පොත් එක්ක පැය දෙකක් විතර ගත කරලා අන්තිමට කියවන්න ඕන කියලා හිතුණු පොත් 4 ක් අර ගත්තා. 'සාර භූමි' බොහෝම ඉස්සර දහ දොලොස් වතාවක් කියවල තිබ්බත් අද ආයෙ ආස හිතුණා ඒ පොත සල්ලි දීලා ගන්න. ඒ පොත පුරා ඉන්න දිරිය ගැහැනිය 'ඕලෑං' ට මං හරිම ආදරෙයි.
මගෙ ජීවිත කාලය තුළදි සිදුවුණු විවිධ හැලහැප්පීම් එක්ක බලද්දි මටත් 'ඕලෑං' කෙනෙක් වගෙ ශක්තිමත් වෙන්න ඕනෙ.
පොත් අතර අතරමං වුණාම කාලය ගෙවෙන්නෙ ඉතාම වේගයෙන්. පොත් සාප්පුව වහන්න ආසන්න වුණාම තමයි මං දැන ගත්තෙ රාත්‍රී 7 ත් පහු වෙලා කියල. පොත් කියන්නෙ මගෙ කලණ මිතුරෝ. කිසිම දාක මාව අත් හැරලා නොයන මං බොහෝ සෙයින් පෙම් බඳින සුමිතුරෝ.
පොත් සාප්පුවක වැඩ කරන්න තියෙනවා නම් කියල හිතෙනවා වෙලාවකට. කවදා හරි දවසක පොත් සාප්පුවක හිමිකාරියක් වීම මගෙ හීනයක්. අපි උත්සාහ කළොත් මොනවද කරන්න බැරි ඇත්තටම. හීනය අනාගතයට බාර දීලා මං පොත් ගොන්නෙන් එළියට ආවෙ හුදකලා වෙච්චි මගෙ නවාතැනට යන්න බස් එකට නගින්නයි.
පිටකොටුවෙ දහසක් මිනිස්සු අතර මං තනිවෙලා නේද කියලයි හිතුණෙ. ජීවිතය කියන්නෙ ඇත්තටම හිස් සුදු කඩදාසියක්. ඒ කඩදාසියෙ විවිධ රටා මවා ගන්නෙත් අපිමයි. ඒ රටා විකෘති කර ගන්නෙත් අපිමයි. ජීවිතේ විවිධ අවස්ථා වලදී අපි දුරදිග නොහිතා ගන්න තීරණ වලින් සුදු හිස් කඩදාසිය අපවිත්‍ර වෙනවා. ඒ අපවිත්‍ර වුණු කඩදාසිය ආයෙමත් පවිත්‍ර කර ගන්න ඕනෙත් අපිමයි.
ජීවිතේ තවත් එක් දවසකින් ආයෙ මුණ ගැහෙමු...

- රුක්ෂිලා වෙත්තමුණි - 
2016 දෙසැම්බර් මස 14

Sunday, September 11, 2016

එන්න අපි වෙඩි උණ්ඩ වලින් බේරී පිනි වැස්සෙ තෙමෙමු



'වෙඩි උණ්ඩ සහ පිණි බිංඳු' හරියට 'ආදරයයි විරහවයි' වගෙ. මංජු නැදගමුව කියන්නෙ මගෙ කලණ මිත්‍රයෙක්. නීලා වික්‍රමසිංහයන් විසින් ගයනු ලබන 'දුවක් සිටියා නම්' ගීතයෙන් ගේය පද රචකයෙකු ලෙස තම ගමන් මාර්ගය ඇරඹි ඔහු  අද වන විට බොහෝ ගීත සංඛ්‍යාවක් රචනා කිරීමේ ගෞරවයට ප්‍රාත වී තිබේ.

දුවක් සිටියා නම් ගීතය අහන්න....
https://www.youtube.com/watch?v=B_yxIXYVFuA


සමාජයෙ නිතර ඇහැ ගැටෙන විවිධ තේමාවන් ඔස්සෙ තම නිර්මාණකරනයෙහි යෙදෙන ඔහු ඉතා දක්ෂ ලෙස එම සමාජීය ප්‍රස්තුත තම නිර්මාණ සඳහා උපයෝගිකර ගන්නේය.

'දුවක් සිටියා නම්' ගීතයට අමතරව මර්වින් පෙරේරා ගයන 'තුරු සෙවණක් යට' , කීර්ති පැස්කුවල් ගයන 'මලක් අහනවා', පුෂ්පිකා මුල්ලකන්ද ගයන 'හිරු දෙයියෝ', ජෙනට් ගුරුගේ ගයන 'ගණන් ගුරුතුමී', කපිල හේරත් ගයන 'පිස්සු කෙල්ල' ආදි විවිධ නිර්මාණ බොහෝ ප්‍රමාණයක් ඔහු සමාජයට දායාද කොට තිබේ.





මංජුගෙ කුළුදුල් කාව්‍ය ග්‍රන්ථය කවිවර ප්‍රකාශනයක් ලෙස සැප්තැම්බර් මස 13 වන දින,
 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී ප.ව. 3 ට ජනගත කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.


කවියට හිතැති කවියට ආදරයැති දයාබර සහෘදය ඔබටයි මේ ඇරයුම....!



එන්න අපි
වෙඩි උණ්ඩ වලින් බේරී පිණි වැස්සෙ තෙමෙමු.....



                                                                        - රුක්ෂිලා වෙත්තමුණි -







Thursday, March 24, 2016

රාත්‍රිය හරි දිගුයි



මගෙ වචන වලට පණ දුන් ආදරණීය වෙදැදුරෝ දෙදෙනා....

 ජීවිතේ ඉතා සතුටුම අවස්ථාවක්.........

මං යළි ඉපදුණා කියලා දැනෙනවා. දයාන් අයියා කියන්නෙ මං තරුණ අවදියේ ඉදන්ම බොහෝ සෙයින් ආදරය කළ චරිතයක් සහ බොහෝ සෙයින් ආදරය කරන  හඬක්. ඉතිං ඒ ආදරණිය හඬින් මගෙ පළමු ගීතය ගැයෙනවා දකින්න තරම් මං කෙතරම් වාසනාවන්තද හැබෑටම.

ආදරණීය දර්ශන මල්ලී මානුෂිය ගුණ වලින් පිරිපුන් ඔබව මගෙ ප්‍රථම නිර්මාණයෙ සංගීත නිර්මාණය සඳහා දායක කර ගන්න ලැබීම කෙතරම් සතුටක්ද....

මේ තිලිණය ආදරණීය ඔබ සැමටයි..........!


උදා හිරු රැස් හෙමින්
කොහේ සැඟවුණිද දැන්
රාත්‍රිය හරි දිගුයි
ගෙවෙන්නෙම නැති හැඩයි

සුසුමකට පණ පොවයි
ඔබෙ සුවඳ රැඳුණු තැන්
නිදන්නට බැරි හැඩයි
දෙනෙත් මගෙ හරි බරයි

මේ විසල් කතර ඉම
යළි නොඑන බව දැනත්
දින දසුනෙ පිටු අතර
හිඳිමි මං මඟ බලන්

ගායනය - දයාන් විතාරණ
පද රචනය - රුක්ෂිලා වෙත්තමුණි
සංගීතය - දර්ශන වික්‍රමතුංග
නාද ශික්ෂණය - සඳරු ගමගේ

ගීතය ඇසීමට....




Wednesday, March 2, 2016

මාත් ආසයි අදරයෙ පාට තවරන්න


මාත් ආසයි අදරයෙ පාට තවරන්න.......
ආදරයට ආදරය කරන්න

ඇත්තටම ආදරය කියන්නෙ.........

ලකුණු ගෙවී ගිය
කාසියකි
වටිනාම
කිව නොහැකි.....

ආදරයට විවිධ නිර්වචන දෙන්න හැකියි. ඒත් ඇත්තටම ආදරය කරන්නෙ කොහොමද...
සමහර විට අපි කැමති අය අපට නොලැබී යන්න පුළුවන්. ඒත් හිතිං හරි ඒ අයට ආදරය කරන්න පුළුවන්....

ආදරය හරියට අලුත් වැස්සක් වගෙ.....

ඇට මස් ලේ නහර
සලිතව
උඩුදුවා
අලුත් වැස්සක්
ඇවිත්
නැවුම් පුසුඹකිං....

බොහෝ වෙලාවට ආදරය ඉදිරියේදී අපි රැවටෙනවා. ඒක හරියට සිහින වෙළෙන්දියක් වගෙයි...

රැවටුණා නේද
ආයෙමත්
ප්‍රේම මායාවෙ
හීනෙකට.....

සමහර වෙලාවට ඔවුන් ආදරය කරන්නෙ මෙහෙමයි..........

වැරදීමක්......

ඔහු
ආදරය කරන්න
පටන් අරගෙන
හදවතෙ
ගැඹුරුම තැනින්
මට නෙමෙයි
මගෙ විෂයට

ආදරයට අසම්මත ප්‍රේමයන් ඇවිත් ඩැහැ ගන්නවා...
හරියට මේ වගේ...

මද පවන
මාරුතයක්විත්
රැගෙන ගොස්
ජීවිතයම..........

අතීතය කියන්නෙ අඳුරට පෙම් බඳින්නක්. එළිය දකිද්දි බයයි. ආදරය ගැන ආවර්ජනය වෙන්නෙ මෙහෙමයි...

එළිය ඇති
හැම මොහොතකම
අඳුරෙ
ගුලි වෙන්න
හීන දකින
අතීතය

ආදරයෙන් පරාජය වුණාම වැස්සටවත් බැහැ ඇස් වලින් වැටෙන කඳුළු එක්ක ඔට්ටු අල්ලන්න.
හරියට මේ වගෙ.....

වැසි කඳුළු
අහස නුඹ කෙතරම්
හැඬුවත්
හැකිවේද
ජය ගන්න
මගෙ කඳුළු එක්ක....

ඒත් ආදරයක් නැති තැනකින් ආදරය පැතීම හරියට..........

තෙතමනක් නැති
හදකින්
ආදරය පැතීම
වළාකුලක් නැති
අහසින්
වැස්ස ඉල්ලීමකි....

ආදරය අපිව අත් හැරලා පලා යන්නෙ නිහඬවමයි.........
විවිධ පැහැයන් ගන්වලා ඒ පැහැයන් ආයෙමත් සොරා ගන්නවා...

පායාවිත් හඳ මඬලෙ
සොමි ගුණෙන් පුරවලා
නේක පැහැ ගන්වමින්
හැඩදමා එකලු කළ
ඔබ ගිහිං නිහඬවම...........

ආදරයෙන් පැරදුනාම ආරක්ෂාවෙන්න තැනක් හොයන්නෙ මෙන්න මෙහෙමයි.........

අතරමං වෙච්චි
තරු කැටයක්
සෙව්වා සෙමින්
සැඟවෙන්න
සුදු වළා රොදක්......

මේ මට ආදරය ගැන දැනෙන විධියයි.............

විටින් විට ලිව්ව කවි සංකල්පනා කිහිපයක්

- රුක්ෂිලා වෙත්තමුණි - 

2016 මාර්තු 03

තවත් කවි සංකල්පනාවන් බලා ගන්න මේ ලින්ක් එකෙන් ගොඩවෙන්න...

Sunday, February 21, 2016

අනේ නැද්දෙ අයිස් එකක්..........


කිරිබත්ගොඩ සෝයා අයිස්ක්‍රීම් කඩේට අද මං ගොඩ වුණේ සෝයා කිරි ඒකක් බොන්න හිතාගෙන. 

මාස ගණනක් වයසැති පුංචි කෙලි පොඩ්ඩියක් උරහිසේ හොවාගෙන මැදිවියෙ කාන්තාවක් කඩේට ගොඩ වුණේ ඒ් අතරවාරයේදියි. අැය ටිකට් පොතක් අතැතිව හිටියෙ. කැෂියර් ඒකේ කාන්තාවට මොනවාද කියනවා දැක්කත් මං ටිකක් පසුපස හිටිය නිසා කිව්වෙ මොනවාද කියලා පැහැදිලිව අැහුණෙ නැහැ. අැයත් ඒක්ක වයස අවුරුදු 8 ක විතර පුතෙක් හිටියා. අැයට තමන් අා කාරණය ඉටු කරගන්න නොහැකි වුණු විත්තිය හිතුණේ කැෂියර් ඒකෙ හිටිය කාන්තාව අන්තිමට උස් හඬින් කිව්ව වචන නිසයි.


'අනේ අපිට ටිකට් ගන්න සල්ලි වෙන් කරලා නැහැ'

ඒ් අතරවාරේ මගෙ අවධානය යොමු වුණේ අර පුංචි කොලු පැටියා දිහාවටයි.
ළමයි කිහිප දෙනෙක්ම ඒ් මොහොත වෙද්දි අයිස්ක්‍රීම්වල රසවිඳනවා.
අනේ අර කාන්තාව ඒක්ක අාපු පුතා ඒකපාරටම කැෂියර් ඒකේ කාන්තාවට මෙහෙම කියන්න ගත්තා.


'නැන්දෙ අයිස් ඒකක්...... නැන්දෙ අයිස් ඒකක්....
අනේ නැන්දෙ අයිස් ඒකක්............'


මට කලින් පෝලිමේ හිටිය අම්මා කෙනෙක් ඒයාගෙ දරුවො දෙන්නට දෝතින්ම අයිස්ක්‍රීම් දෙකක් අරගෙන ගිහිං දෙද්දි අර අහිංසක දරුවා බලාගෙන හිටියෙ පුදුම වේදනාවකින්. ඒ් දරුවගෙ අැස්වල තිබ්බ අසරණකමින් මාව පිච්චිලා ගියා.

ඊළඟ වාරේ මගෙ.


'මට අයිස්ක්‍රීම් ඒකයි සෝයා කිරි ඒකයි දෙන්න.....'

කැෂියර් ඒකෙ කාන්තාව හිතන්න අැති දෙකම ගත්තෙ මට කියලා.
අනේ අර අහිංසක දරුවා තාමත් සුපුරුදු පරිදි නැද්දෙ අයිස් ඒකක් කියනවා....


ඒතකොටම ඒ කාන්තාව කිව්වා රු 25 ක් අරං ඒන්න කියලා. පොඩි ඒකා කට අැරෙගන බලාගෙන ඉන්නවා.

පුතේ ගන්න. මේ අයිස් ඒක ඔයාට.

මං ඒහෙම කියලා අයිස්ක්‍රීම් ඒක පුතාගෙ අතට දෙද්දි ඒ් අැස් දිලිසුණු හැටි මං කොහොම විස්තර කරන්නද....

ඉවවහා ගිය සතුටිං කොලු පැටියා අයිස් ඒක අරං දුවද්දි මට දැනුණේ පුදුමාකාර සතුටක්.

මෙතෙක් වේලා තමාගෙ දරුවන් වෙනුවෙන් විතරක් අයිස්ක්‍රීම් අරං දුන්නු ඒතන හිටිය අම්මලා තාත්තලා මං දිහා බලාෙගන හිටියෙ ඔවුන්ට ඒහෙම කරන්න හිතක් පහල නාෙවුණෙ අැයි කියලා වෙන්න අැති.....
මට තාමත් ඒ් අහිංසකයාගෙ හඬ රැව් දෙනවා......

'නැන්දෙ අයිස් ඒකක්...... නැන්දෙ අයිස් ඒකක්....
අනේ නැන්දෙ අයිස් ඒකක්............'


- රුක්ෂිලා වෙත්තමුණි -

Friday, February 19, 2016

මං ආසයි මිස්ටර් රාජාට....


Aparna Sen ගෙ චිත්‍රපට වලට මං කවදත් කැමතියි. මේ චිත්‍රපටය මගෙ හිත තදින්ම වෙලා ගත්තා.කිහිප සැරයක්ම විටින් විට දින ගණනක් බැලුවා. අද ආයෙමත් තැනින් තැන මීනක්ෂි හා මිස්ටර් රාජා හෙවත් මිස්ටර් අයියර් ඉන්න කොටස් බැලුවා.


මට සිනමාත්මක භාෂාව ගැන අවබෝධයක් නැහැ. ඒත් රස විඳින්න පුළුවන් යම් නිර්මාණයක්. මිස්ටර් රාජාත් මං වගෙ පරිසරයට ආදරය කරන කෙනෙක්. ඒ වගේම ඡායාරූප ශිල්පියෙක්. හදිසි අවස්ථාවක මුණ ගැහෙන මීනක්ෂි හා දින තුනක් වැනි කාලයකදී ඔවු නොවුන් අතර සිදුවන ඒ අමුතු බැඳීමට මං හරිම කැමතියි. ජීවිතය කියන්නේ හැරයාමයි. අපි කැමති අය හා අපිට අකමැති අය හැමදාමත් කළේ අපිව හැරයාමයි.


මේ චිත්‍රපටය ඔස්සේ සමාජයට දෙන පණිවිඩය අස්සෙ කොච්චර දේවල් අර්ථ ගැන්වෙනවාද......

මං ආසයි මිස්ටර් රාජාට....

සියලුම කාන්තාවන් කැමතියි ආදරය කරුණාව වගේම ආරක්ෂාවත් තමන් ආදරය කරන පෙම්වතාගෙන් හෝ ස්වාමියාගෙන් ලබන්න. ඒක මනුස්ස ස්වභාවය. මිස්ටර් රාජා ගැන මට ඇති වෙන්නෙ ඒ නිසා පුදුම ආදරයක්.

චිත්‍රපටය ගැන කිසිත් නොකියා ඉන්නම්. ඒ ඔබට එය සිත් සේ නැරඹීමට සැලැස්වීමටයි.

මෙය නරඹලා ඔබට දැනෙන දේ අපිත් එක්ක බෙදා ගන්න......


සම්පූර්ණ චිත්‍රපටය නැරඹීමට....

https://www.youtube.com/watch?v=jTGZ8I0bHcI&list=PLA87B9E82EE0A0924

Friday, February 12, 2016

මිය ගිය උවැසිය- මොනිකා කිවිදිය






මිය ගිය උවැසිය- මොනිකා කිවිදිය

නවාතැන් පොළෙන් සමුගත් ළබදිය

නවාතැන් පොළේදි යළිත් හමුවිය...


කවියෙන් දුටුවෙමි ඇය හද රිද්මය....











මොනිකා රුවන් පතිරණ කිවිදිය දිවයින ඉරිදා පත්‍රයට ලියූ "නවාතැන් පොළේ"නමැති ලිපි පෙළ කෘතියක්‌ ලෙස පළවී තිබෙනු, කියවීමි. ඇය එය රචනා කොට ඇත්තේ තම සමාජ මෙහෙවර සඳහා නැවති සිටිය තැන්වල මානව දයාවෙන් පිරිපුන් ඇගේ හද සසල කළ අවස්‌ථා හා සිද්ධි ඇසුරෙනි. එහෙත් මේ ලියන්නේ _විත නවාතැන් පොළ හැර දැමූ මේ උදාර ගැහැනියගේ අසීමිත මානව ප්‍රේමයේ කවි කෘතිය පිළිබඳවයි. ඇය මිනිසුන් වෙනුවෙන් විමසූ, කැපවුණු ගැහැනියකි. ගැහැනුන් නොදුටු දේ ගැහැනු නෙතින් උරාගත් ඇය නවාතැන්පොළ ලිපි පෙළ හරහා මවන්නී ඒ අදහස්‌ය. ගැහැනියක ලෙස ඉපිද ගැහැනියක නිසාම විඳින වද වේදනා සියෑසින් පසක්‌ කරන්නී නවාතැන්පොළ හරහා අනුවේදනීය දිසාමානයන් කරා පාඨකයා ගෙනයන්නීය.


ආශ්චර්යයක්‌ කරා යන ගමනේ ශ්‍රී ලංකාවේ දුක්‌ විඳින ජනතාව හා එම දුක හිසින් ගෙන, හෙට ලොවක නැවුම් සිහින ගෙන අගුපිළේ රෑ සිහින දකින ගැහැනුන් දුටු පතිරණ කිවිදිය කරුණා පිරුණු උවැසියක සේ සෝකවන්නීය. ඒ සෝකය ඇයගේ හදවත තුළ නොරැඳී පිටාර ගැලුවේය. ප්‍රේමයත්, එයින් ගෘහණියක වන ගැහැනියත් බොහෝවිට, සැබෑවටම ලාංකීය සමාජය තුළ කැටයක්‌ බවට පත්වෙයි. මෑතකදී රක්‍ෂණයක්‌ වෙනුවෙන් ස්‌වාමියා අතින් මිය ගිය කාන්තාවක කියා පෑවේද උක්‌ත දුර්භාග්‍යයේ තරමයි. මොනිකා කිවිදිය මෙබඳු පැතිකඩ විනිවිද දකියි. වරක්‌ ඇය දුටු ගැමි නව යොවුන් තරුණියක සිය අතේ අත්ල අහිමි වූ එකියකි. 

ඒ ෆැක්‌ටේරියේ වැඩට ගොස්‌ සිදුවුණු අකරතැබ්බයකි. එහෙත් ඇයගේ මව ඊට කිසිදු මුදලක්‌ නොගත්දි ඉල්ලා තිබුණේ තම දියණියගේ අත නැවත දීමට හැකි නම් එයයි. මොනිකා කිවිදිය සිය කවි වැගුරුවේ මෙසේය, ඇය වෙනුවෙන්.


ඇගේ ඇඟිලි සොරු අරගෙන ගියෝයා

එකී ඇඟිලි මුදලට සම නැතෝයා
කාසි දහසක්‌ ගනු කෙසේයා
ඇගිලි නොම ලදොත් මගෙ දිවි නැසේයා

මේ කුඩා දැරියත්, ඇයගේ මවත් ළතවෙන අයුරුය. තව වරක්‌ ඇය බංගලාදේශයේ සංචාරය කරත්දී දුටු දෙයින් හද ස්‌වර ප්‍රකම්පිත විය. අවුරුදු දොළසක දැරියක්‌ අවුරුදු හතළිස්‌ ගණනක්‌ වයසැති අයකුට විවාහ කරදී ඇය ගෙන යාමට පැමිණ විට එම දැරිය දුව යන දසුනකි ඒ. තම දෙමාපියන්ගේ උණුසුම ලැබිය යුතු මේ දැරිය පිරිමියකු අතපත්ව කුමන පිපතක්‌ ඉවසන්නට සමත්වෙයිද? මේ කුඩා දැරිය බිල්ලක්‌ බවට එම සමාජ සංස්‌කෘතිය තුළ පත්ව ඇත්තේ ගැහැනිය පිළිබඳ වත්මන් සෑම සමාජයකම පාහේ දැකිsය හැකි පරිභෝජන භාණ්‌ඩයක්‌ පමණක්‌ වීම පෙන්වාලමිනි. 

එහෙත් කවියකුට කළ හැක්‌කේ කුමක්‌ද? එම කඳුළු කතා කඳුළු අකුරින් අමුණා පාඨක නෙතග තෙත් කිරීමට තැත් දැරීම පමණි. මේ බංගලාදේශ බොළදිය වෙනුවෙන් අප කිවිදිය ඇමුණූ කවි කඳුළුය.


බොළද ළමා සිතිවිල්ලේ සරන්නියේ
අණසක බිඳින්නට නොහැකිව හඬන්නියේ
දෙවියකු පිහිට වේදැයි මග බලන්නියේ
අවසන කොතැන වෙද නොමදැන දුවන්නියේ



නොපිපුණු කැකුළ බිල්ලට පුද කරන්නිද
නොවැඩුණු උකුළ තුළ කළලය වඩන්නිද
නොවැඩුණු ළැමෙන් බිළි¹ට කිරි පොවන්නිද
නොපැසුණු සිත කයින් ගැහැනියක වන්නිද


කවා පොවා දරු සතපා ළඟින් හිඳ
ගෙවතු මල් වාවා යළි ගේ දොර ඇමද
සිරි යහනේ මොහොතක්‌ නිදි ලබන සඳ
මිය ගිය ළමා ළොව සිහිනෙන් පෙනේවිද


මෙසේ මිය යන මල් කැකළු එක්‌ දේශයකට හෝ කාලයකට අයත් නොවෙයි. මොනිකා කිවිඳිය උවැසියක සේ මේ සියල්ල දකියි. අපට කියයි. එසේ කියන්නී ඇය මිය ගියද අනාගත මී මුනුබුරු මිනිබිරියන්ට හෝ මේ ආච්ර්ණකල්පික මතයන්ගෙන් මිදී නව ලොවක නව අරුණලු දකින්නට වෙර දරන ලෙස පැවසීමටයි. අනාගතයේ ඇය දුටු මෙම අවිනිශ්චිත ස්‌වභාවය අද අපට පසක්‌ වෙමින් පවතියි. 


ඇය මෙන් අපටද මෙම නවාතැන් පොළෙන් හැකි ඉක්‌මනින් සමුගන්නට ඇත්නම් කදිම යයි අපට සිතෙන්නේ එබැවිනි.


වැව් ගොඩවී තාවුල්ලේ අවන්හල්ද සැදීලා
පුරන් කුඹුරුවල දුම්කොළ ගහකින් උක්‌ වැවිලා
දඬුමොණරෙන් රජ මැතිවරු අහසෙන් එති වැඩලා
නිලමේවරු පැජරෝවෙන් යති දුහුවිලි පිඹලා

ගම්මානෙන් පෙකිනිය සිඳ විශ්වය ගැන උගෙනා
මුණුපුරුවරු දසතේ යති අත සහතික රැගෙනා
මෙරටෙහි සළු පිලි වියමින් රට තෙල් ළිං පිහිනා
මිණිපිරියන් එවන කාසි හඬ ගම්දොර ඇසෙනා

මෙවිපත් හඳුනන කිසිවකු පහළ වෙන බැවිනා
පින්වත් දියසෙන් කුමරකු මැවිය යුතුය ඉතිනා
වස්‌ පණහක්‌ ගිය තැන දැඩි සොවින් ලියා තබනා
මී මුනුපුරු මිණිපිරියනි තොපටයි මේ වදනා


ඇය අවසන අපගෙන් අසන්නේ තවමත් නොවිසඳී, එහෙත් අප හදවත් තුළම වහා විසඳිය යුතු පැනයකි. ඒ පැනය අපේ අම්මා වෙනුවෙනි. නංගී වෙනුවෙනි. අක්‌කා වෙනුවෙනි. සොයුරිය වෙනුවෙනි. ඇයගේ කිවි සිත මානව දයාව පිරිපුන් දුකම දැක සංතාපයට පත්ව, එවුන්ගේ දුක නිවීමේ පැතුමම කේන්ද්‍ර කරගත් එකක්‌ බවට මේ පැනයම දෙස්‌ දෙයි.

ඇතැම් චිත්‍රපට ටෙලි නාට්‍ය හා විවිධ කලා මාධ්‍ය හරහා මැවෙන හාණ්‌ඩ ගැහැණියගේ සිතුවමට අනුගත වෙනු වෙනුවට ජීවිතයට මුහුණ දෙන ගැහැණියකගේ ප්‍රතිරූපය වර්ධනයට කාලය එළඹී නොමැත්තේද?

මොනිකා කිවිඳි උවැසිය මා මුලින්ම හද තුළ රඳවා ගත්තේ උසස්‌ පෙළ ලෙච්චමීගේ සිතුවිල්ලෙනි. එහෙත් ඇය හමුවීමට තරම් මා පින් කොට නොතිබිණි. මරණය ගැන ලියූ එයින් ජීවිතය ගැන කියූ මේ සොඳුරු සිතැත්තිය අප හැර ගොසිනි. එහෙත් ඇය ලියූ කවි ඇය මිය ගිය බව අපෙන් වසන් කරයි. ඒවා දකින කියවන මොහොතක්‌ පාසා කවියක්‌ කරන හදියක තරම දැනෙයි. ඉන් හද කම්පා වෙයි. මානවීය ආස්‌ථානයන් සකස්‌කරවීමෙහි කවියෙහි වගකීම ඇය මනාව අවබෝධ කරගෙන සිටියාය. නැවතත් සොඳුරු නවාතැන් පොළකදී ඇය හමුවේ නම්.... එවිටද ඇය අහිංසක මිනිසුන්ගේ දුකම ගැන දොඩනු අරුමයක්‌ නොවනු ඇත.


තෙඹුකැටියේ ධම්මානන්ද හිමි
සහාය කථිකාචාර්ය
සිංහල අධ්‍යයනාංශ්‍යය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය


උපුටා ගැනීම - දිවයින



මොනිකා රුවන් පතිරණ විසින් රචිත විසි වසක ශේෂ පත්‍රය

ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
මංගල රියෙහි නංවා පෙරහරක නළවා
දිනයෙක ඇතුල් කළ මඟුල් සේයා රුවෙන් මේ
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතින්මයි

සම් මස් නහර ඇඟිලි රන් මුදුවල ම සිර වී
කල් ගිය වරල පලඳනා කටු ඔටුනු වීලා
රන් දම් යදම් වී කෙමෙන් ගෙල සිර වූ සන්දා
සඟවා තබා ඇත තවම කිට්ටම් නිවාසේ

මල් කුමරුවන් කුමරියන් පිරිවරට ආවත්
උන් හා නැටුම් කෙළි කවට ලුහුඬින් ම නිම වී
තෙරපෙන බරින් ජීවිතේ මල් සිනා මැරුණත්
දුක් සැප කුමන්දා බසක් ඇසුවෝ නො වෙත්මැයි

ලඹ දුන් සුවඳ නන් කුසුම් උඩු වියන් සෙවණින්
බැස පෝරුවෙන් පා තබා පුන් කලස් අතරින්
එ මඟුල් සේයා රූ සමඟ තවලමෙහි ඇදෙමින්
මැඳුරින් මැඳුර ගෙවු කුලී ගිය දුර නිමක් නැත්

අසමින් අපේ ගුණ වරුණ නෑ සිය මුවින් ගැයූ
සපැමිණ ලැගුම් ගත් එදා වීදුරු නිවාසේ
සුරකින වෙර දැරුයෙන් මතු මතුත් දිවි හිමියෙන්
අවසර නොවීමය උනුන් හඳුනන්ට කිසිදා

ගිවිසුම් සදමින් සොඳ පවුරු වීදුරු නොබින්දා
විසි වස් ගෙවුණත් ජය මඟුල් ආසිරි බලයෙන්
මතු දෙදරුම් වළකා මඟුල් හස රැලි රකිත්වා
කල් යල් පැමිණි වග නෑසියනේ සිතත්වා


මේ කවිය.....



උත්සවශ්‍රීයෙන් ඥාති සමූහයා මැද විවාහප්‍රාප්ත යුවලකගේ විවාහ ජීවිතයහි සැඟ ව ඇති යථාර්ථය විසි වසරකට පසු එදා සිටි ඥාති, මිත්‍ර සමූහයා ඉදිරියේ කරන ප්‍රකාශයක් ලෙස මේ නිර්මාණය ඉදිරිපත් වේ. කිවිඳිය මේ සඳහා යොදාගන්නා විරිත ද, අතීතයේ දී ගායනා කළ මඟුල් සිලෝවල ගායනා රීතියට නෑකම් කීම, උත්ප්‍රාසයක් ලෙසින් නිර්මාණයෙන් මතු ව පෙනේ.

මංගල දිනයෙහි මනාලියන් ඇඳුම් පැලඳුම්, ඡායාරූප, ආසිරි ගීය, අනුශාසනා, මනාලියගේ මල් කුමර කුමරියන්, ‘පෝරුව, උඩුවියන්, පාවඩ ඈ සියල්ල වර්තමාන ජීවිතයේ ස්වරූපය සමඟ ඡේදනය කරමින් හා සසඳමින් එදා සහ අද අතර පරාසය පිළිබඳ ව නැවත සිතීමට අප පොළඹවයි. මේ යථාර්ථය ප්‍රකාශ කිරීමට කිවිඳිය යොදා ගන්නා උපක්‍රම ඉතා කාව්‍යෝචිත ය.

“ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතින්මයි..”

ලෙසින් අරඹන නිර්මාණයෙන් ද්වනිත වන්නේ උපහාරය, ශක්තිය, වේදනාව වැනි භාවයන් සමුදායකි. ඇය නිවාස කුලියට ගනිමින් දීර්ඝ ජීවිත චාරිකාවක් කළ බව ප්‍රකාශ කරන්නේ උචිත උපමා, ද්වනිය මතු කරන නව අරුත් සමූහයක් නිර්මාණය තුල පිහිටුවමිනි.

“ඒ මඟුල් සේයා රූ සමඟ තවලමෙහි ඇදෙමින්
මැඳුරින් මැඳුර ගෙවු කුලි ගිය දුර නිමක් නැත්...

මේ නිර්මාණය ඉදිරිපත් කරන ශෛලිය, ආකෘතිය, විරිත, බස පමණක් නොව නිර්මාණයට දී ඇති මාතෘකාව පවා නිර්මාණය තුළින් ප්‍රකට කරවන අත්දැකීමට මනා අපූර්වත්වයක් එක් කර ඇත. ‘ශේෂ පත්‍රය’යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ භෞතික, අප්‍රාණික ප්‍රතිඵලයක් විනා ජීවමානවූත්, සජීවී වූත් මනරම් ජීවිත සංකලනයක් නොවන බව රසිකයාට අවසානයේ ප්‍රත්‍යක්ෂ වේ.

ජයන්තා රුක්මණී සිරිවර්ධන

ගැහැනියකගේ ජීවිතයේ ලස්සනම දිනය ඇය මනාලියක වනදා ය. ඥාති මිත්‍රාදින්ගෙන් ලැබෙන සුබ පැතුම් අවවාද නිමක් නැත. සුදු සේල අන්දා මල් ගවසා, වේල්පට පලදා ඇය පෝරු මස්තකයේ හිද ඔහුගේ මනාලිය වූවාය. මංගල රථයේ නැග රථ පෙරහරින් ගොස් සිහින් සිනා විදහා මංගල සේයාරුවකට පෙනී සිටියාය. මංගල උත්සවය එතෙකින් නිමා විය.

ඉන්පසුව ඇරඹියේ යුග ජීවිතයයි. පවුල නැමති සංස්ථාව රැක ගැනීමට කළ දුෂ්කර ක්‍රියා අපමණය. ඇයට මේ සියල්ල සිහිපත් වන්නේ් මංගල සේයාරුව දැකීමෙනි. වසර විස්සක අතීතය හා වර්තමානය පිළිබඳව මෙන්ම අනාගතය පිළිබඳව යම් ඉඟියක් ද ඇය විසිවසක ශේෂ පත්‍රයෙන් කියනු ලබයි. මොනිකා රුවන්පතිරණ නම් වූ කිවිඳිය විසින් රචිත විසිවසක ශේෂ පත්‍රය කවියෙන් ඇය පවසන්නේ ගෙවී ගිය වසර විස්ස තුළ ජීවිතයේ සිදුවූ විවිධ වූ හැල හැප්පීම් සමඟ පවුල් ජීවිතය රැක ගැනීමට සිදුවී වෙහෙස අපමණ බවය. එය සොඳුරු මෙන්ම කටුක අත්විඳීමකි.

සම්මස් නහර ඇඟිලි රන් මුදුවලම සිරවී
කල්ගිය වරල පලඳනා කටු ඔටුනු වීලා
රන්දම් යදම් වී කෙමෙන් ගෙල සිරවූ සන්දා
සඟවා තබා ඇත තවමත් කිට්ටම් නිවාසේ

කුලී ගෙදරින් කුලී ගෙදරට යමින් පවුල් ජීවිතය රැග ගැනීමට කළ අපමණ කැපකිරීම් මෙන්ම ගැටුම් වලකා ගනිමින් විසි වසරක් ගත කළ අයුරුත් ඇය සිහිපත් කරයි. ඒ සියල්ලට මංගල දා ලැබුණ සුබපැතුම් ජයමංගල ගී ආශිර්වාද බලපෑ බවත් ඇය පවසන්නීය.

මෙහිදී කිවිදිය ව්‍යංගයෙන් මෙන්ම ඍජුවම පවසන්නේ විවාහ ජීවිතයේ බාධක ජයගැන්මට අපමණ වෙහෙස වූ බවය. කැපවූ බවය. එමෙන්ම තවමත් එකිනෙකා හඳුනා ගැනීමට දරන උත්සාහයත්, මංගල දිනයේ පෑ සිනහව විසිවසරක් රැක ගැනීමට ගත් උත්සාහයත් ඉදිරියට එය රැක ගැනීමට ගන්නා උත්සාහයත් පිළිබඳව පවසන්නීය. ඒ සිනහව තුළ සැඟව ඇති දුක, කටුකÀවය අපමණය. බොහෝවිට නෑදෑයින් ජීවිතයේ සතුට දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව නොවිමසූ තරම්ය.

”තෙරපෙන බරින් ජීවිතේ මල් සිනා මැරුණත්
දුක සැප කුමන් දා බසක් ඇසුවෝ නොවෙත්මයි”

නව කවි පරපුරට අයත් මොනිකා රුවන්පතිරණ කිවිඳිය බොහෝවිට සමාජ අසාධාරණ කම්වලට මුහුණ දුන්නවුන්ගේ ජීවිත අත්දැකීම් පිළිබඳව නිර්මාණ යොමු කළාය. ඇගේ භාෂාව සරලය. එනමුදු ඒ සරල බව තුළින් ඇය මතු කළ ප්‍රශ්න ප්‍රබලය.

අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්, තහනම් දේශයකින්, අංගුලිමාලගේ සිහින, ඔබෙ යෙහෙළිය – ඇය ගැහැනිය, විසිවසරක ශේෂ පත්‍රය යන කාව්‍ය ග්‍රන්ථ කිහිපය ඈ විසින් රචනා කොට ඇත.

ඉසවි

Wednesday, February 3, 2016

පේ‍්‍රමයේ විරහව ඔබ මට කියා දුන්නෙහිය


කලකිරීමෙන් හා හුදෙකලාව පීඩිත ව ගිය සිත් ඇති මොහොතක තමා නිතර ම කියවන නවකතාවක් ගැන ගුණදාස අමරසේකරයන් වරක් සඳහන් කර තිබුණා. ඒ තමයි මාර්ටින් වික‍්‍රමසිංහ ගේ ‘විරාගය’. එයින් කුමන හෝ පිටුවක් පෙරළා කියැවීමෙන් තමා මහත් අස්වැසිල්ලක් ලබන බව ඔහු එහිදි තවදුරටත් කියා තිබුණා.

මේක පෞද්ගලික ව මට ආදේශ කරලා ගත්තොත් එවන් මනෝභාවමය අවස්ථාවක මම කියවන්න අතට ගන්නේ ‘විරාගය’ නෙමෙයි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ නවකතාව.

‘විරාගය’ත් එක්ක සංසන්දනය කරල බැලුව ම ‘මළගිය ඇත්තෝ’ ඒ තරම් ගැඹුරින් මනුස්ස ජීවිතය විවරණය කරන්නා වූ අතිවිශිෂ්ට නවකතාවක් නොවන්න පුළුවන්. ඒත් මම ‘විරාගය’ට වඩා ‘මළගිය ඇත්තන්’ට පෞද්ගලික ව කැමැතියි.

චිප‍්‍රලම්භ ගෘංගාරය කියන දේ ‘මළගිය ඇත්තෝ’ නවකතාවේ විතරක් නෙමෙයි ඒක ‘විරාගයෙ’ත් තියෙනවා. ඒත් ‘මළගිය ඇත්තෝ’ මුල සිට අග දක්වා ම ගත්තොත් පේ‍්‍රමකතාවක් - පේ‍්‍රම කාව්‍යයක් - පේ‍්‍රම ගීතයක් වන නිසා ම ආදරයේ සුන්දරත්ව ය වගේ ම එහි ඇති අපරිමිත වේදනාවත් එක අතකින් සංකීර්ණ විදියටත් අනිත් අතින් අති සංවේදී හා භාවසූචක විදියටත් නිරූපණය වෙලා තියෙනවයි කියලා මම හිතනවා.

නවකතාවේ ප‍්‍රධාන කතා නායකයා දෙවෙන්දොරා සං. ජපන් නමක් වගෙ පෙනුණට ඔහු සිංහල. ඔහුට නොරිකෝ සං මුණගැහෙන්නේ ජපානයේදි. ඇය සුන්දර ජපන් යුවතියක්. නවකතාවේ දැක්වෙන ආකාරයට දෙවෙන්දොරා කලක් පැවිදි ව සිට පසුව සිවුරු හල පුද්ගලයෙක්. වෘත්තිමය වශයෙන් ගත්තොත් චිත‍්‍ර ශිල්පියෙක්.

දෙවෙන්දොරා ගේ වයස නවකතාවේ නිශ්චිත ව නොදැක්වුණත් ඔහු තරුණ විය මඳක් ඉක්මගිය, මැදිවියට එළැඹෙමින් සිටින අයකු බව පෙනී යනවා. එහෙත් නොරිකෝගේ වයස නම් නවකතාවේ ඉඟි කෙරෙනවා. ඇය අවුරුදු විස්සකට වඩා විය නොහැකි යයි තමාට හැඟෙන බව දෙවෙන්දොරා වරක් කියා සිටිනවා.

දෙවෙන්දොරා නොරිකෝගේ ජීවිතයට මුලින් ම ඇතුළුවුණා කියනවාට වඩා නොරිකෝ දෙවෙන්දොරාගේ ජීවිතයට මුලින් ම ඇතුළු වුණා යැයි කීම වඩාත් නිවැරැදි යැයි මා සිතනවා.

“දවසක් යමුද කබුකි බලන්න” නොරිකෝ කියා සිටිනවා. ඒක තමයි ඔවුන්ගේ සම්බන්ධයේ ආරම්භය. කබුකි බලන්න ගියායින් පස්සේ දවසක නොරිකෝ දෙවෙන්දොරාට තම නිවෙසට එන්නැයි ආරාධනා කරනවා. නොරිකෝ ගේ පියාත් පාරම්පරික සිත්තරෙක්.

මේ ගමනෙන් පස්සේ දෙදෙනාගේ බැඳීම තවත් වර්ධනය වෙනවා. ඔවුන් තෝකියෝ නගරයේ හැම තැන ම ඇවිදිනවා. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ දෙදෙනා ම තම තමන් ඔවුනොවුන්ට ආදරේ බව වචනයෙන් ප‍්‍රකාශ නොකිරීමයි. ඒක ඔවුන් කියන දෙයක් නෙමෙයි එකිනෙකාට දැනෙන දෙයක්;

දෙවෙන්දොරාගේ ජීවිතයේ කැළඹීමක් හටගන්නා මුල් ම සිද්ධිය වෙන්නේ නොරිකෝ තම අසල්වැසියකු සමග ආහාර ගැනීමකට කළ ඇරියුමක් පිළි ගැනීමයි. දෙවෙන්දොරාගේ හදවතට වේදනාවක් හටගන්නවා විතරක් නෙමෙයි එයින් ඇතිවූ ඊර්ශ්‍යාවෙන් ඔහු බලවත් සේ පීඩා විඳිනවා.

මුළු තෝකියෝ නගරය ම තමා විසින් කඩදාසියෙන් සාදන ලද සෙල්ලම් ගෙයක් සේ එකවර ම බිඳවැටුණු බව දෙවෙන්දොරා කියා සිටිනවා.

මේ අතරේ දෙවෙන්දොරා තෝකියෝ අතහැර කියොතෝවලට යන්න අදහස් කරනවා. ඒක දැනගන්නා නොරිකෝ දුක්බර බැල්මෙන් කියනා දෙයින් අප හදවත් සියුම් වෙණ තතක් සේ නොහැඬවෙන්නේ ද?

“යන්න එපා දෙවෙන්දොරා සං”

බැරිම තැන ඇය මෙහෙම කියනවා.

“යනවා නම් දෙවෙන්දොරා සංගේ සිරුරෙ සුවඳ, මේ ඇඳුම්වල සුවඳ තියලා යන්න”

(රත්න ශී‍්‍ර විජේසිංහ ‘සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්’ නම්වූ බොළඳ ගීතය ලිව්වේ මේ අවස්ථාව වස්තුබීජ කරගෙන.)

කියොතෝවලට යන්න කලින් දෙවෙන්දොරා නොරිකෝට වෙළෙඳ සලකදී වෙස් මුහුණක් තෑගි කරනවා. නොරිකෝ ගේ හිත කවදා නමුත් වෙනස් වුණොත් මේ වෙස් මුහුණ තමාට දෙන්නැයි ඔහු කියා සිටිනවා.

මොකද මේ තරම් භයානක මුහුණක් තේරුවේ?

”මගේ යටි හිත එහෙම තමයි ඊර්ශ්‍යාවෙනුයි නපුරුකමිනුයි පිරිලා.”

දෙවෙන්දොරා උත්තර දෙනවා. ඇත්තටම ඒක දෙවෙන්දොරාගේ ජීවිතය නිරූපණය කරන ඔහු ගේ ඇතුළු සිත විවරණය කරන සංකේතාත්මක අවස්ථාවක්. මේ අතර නොරිකෝ සෞම්‍ය වෙස් මුහුණක් ඔහුට තෑගි කරනවා. “මේක නැති වුණදාට මමත් ඉවරයි කියලා හිතාගන්න” ඇය කියනව. කියොතෝවලදි දෙවෙන්දොරා ගත කරන්නේ නන්නත්තාර ජීවිතයක්.

ඔහුට නිරන්තර දැනෙන එකම දේ නොරිකෝ අමතක කර දැමීමට නොහැකි බව පමණයි. සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීම සඳහා දෙවෙන්දොරා ගේෂා ස්ති‍්‍රයක් ඇසුරු කරන්න පටන් ගත්තත් ඔහු එයින් වුණත් කායික තෘප්තියක් කෙසේ වෙතත් භාවමය අස්වැසිල්ලක් ලබන්නේ නැහැ. සැබෑ ආදරය ජිවිතයේ පතුළට කිඳ්‍ර බැස එහි ඇති දුකෙන් තැවරෙන බව දෙවෙන්දොරා කියා සිටිනවා.

දෙවෙන්දොරා ආයෙත් තෝකියෝවලට එනවා. ඒ එනකොට ඔක්කොම වෙනස් වෙලා. කොටින්ම නොරිකොත් වෙනස්වෙලා බව ඔහුට හිතෙනවා. ඈ කිසි කලෙක තමාට ආලය නොකළ බවත් ඇය හුදෙක් තමාට කරුණාවෙන් සැලකුවා පමණක් බවත් ඇය තමා සමඟ කතාබහ කිරීමට පි‍්‍රය කළා පමණක් බවත් ඔහු හිතන්න ගන්නවා. කොහොම වුණත් මෙවර දෙවෙන්දොරා නවතින්නේ නොරිකෝගේ නිවෙසේ කාමරයක.

ඒ වනවිට ඇගේ පියා මිය ගිහින්. නොරිකෝ වෙනත් රැකියාවකට යනවා. ඇයට දෙවෙන්දොරා එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. සියුම් හදක් ඇති දෙවෙන්දොරාට මේක දරාගන්න බැරිව යනවා. ඔහු බැරිම තැන ඇයට මෙහෙම කියනවා.

”මාව මරන එක මීට වැඩිය හොඳයි. මාව මරන්න.”

නොරිකෝ තමාට තෑගි කළ සෞම්‍ය වෙස් මුහුණ ඔහු ඇගේ කාමරයේ තබා නිදිපෙති බොනවා. ඔහුට ඕනෑ ජීවිතය නැති කර ගන්න. ඒත් ඔහු මිය යන්නේ නැහැ. නොරිකෝ ඔහුට ලියුමක් ලියනවා.

”ඔබ මගේ වෙස් මුහුණ ආපහු දුන් නමුත් මම ඔබේ වෙස් මුහුණ ආපහු දුන්නේ නැහැ.”

’මළගිය ඇත්තෝ’ නවකතාව නිම වන්නේ නිශ්චිත අවසානයකින් තොරව. එය එහි දෙවැනි කොටස වන ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවත් එක්ක ඊළඟට ඈදෙනවා.

’මළගිය ඇත්තෝ’ එහි කතුවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ම අත්දැකීමකින් ලියැවුණු කෘතියක් ද? මෙබඳු ප‍්‍රශ්නයක් පැන නඟින්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර කාලයක් ජපානයේ ජීවත්වුණු නිසා.

කෙසේ වෙතත් ඒ ප‍්‍රශ්නයට කිසියම් පිළිතුරක් ඔහු ලියූ ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් වු ස්වයං ලිඛිත චරිතාපදානයෙන් ලැබෙනවා. නොරිකෝගේ චරිතය තමා දැන සිටි ජපන් ස්තී‍්‍රන් දෙදෙනකු ඇසුරෙන් ගොඩනඟන ලද්දක් බව එහිදි මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියා සිටිනවා. එහෙත් ඒ චරිතය ගැන ඊට වැඩි විස්තරයක් කිරීමෙන් ඔහු වැළකී සිටිනවා.

මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානයේ සිටියදී ජීවත්වුණේ පාරම්පරික ශිල්පියකුගේ නිවෙසේ. (නොරිකෝගේ පියාත් පාරම්පරික චිත‍්‍ර ශිල්පියෙක් බව මා මීට කලිනුත් සඳහන් කළා). එම ශිල්පියාගේ පුතා තෙරුඕ. දුව කිමිකෝ. තෙරුඕ ගේ බිරිය චියෙකෝ. නවකතාවේ නොරිකෝගේ සොහොයුරු හිදෙජි හා ඔහුගේ බිරිය චියෙකෝ ගේ චරිත මේ තෙරුඕ හා චියෙකෝ ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙනවයි කියලා අපිට හිතන්න පුළුවන්. කිමිකෝ ගේ චරිතය නවකතාවේ දැක්වෙන්නේ මෙමොකෝ වශයෙන්.

එසේ වුවත් නොරිකෝට පාදක වූ ජපන් ස්ති‍්‍රය ගැන තොරතුරු සඟවා තබන්න තම ස්වයං ලිඛිත චරිතාපදානයේදි මහාචාර්ය සරච්චන්ද්‍ර උත්සාහ ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

මේ අතර ප‍්‍රවීණ කවියකු හා නිශ්චල ඡායාරූප ශිල්පියකු වන ලාල් හෑගොඩ මෑතදි කළ ජපන් සංචාරයකදි ඔහුට මුණ ගැසුණු එක් ජපන් ස්ති‍්‍රයක් නිසා නොරිකෝ පිළිබඳ අවධානය නැවතත් ‘මළගිය ඇත්තෝ’ පාඨකයන් වෙතින් යොමුවුණා. ජපානයේදි ලාල් ට මුණගැසී ඇති අකිකො සං නමැති ස්ති‍්‍රය ඔහුගෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර පිළිබඳ තොරතුරු විමසා තිබෙනවා.

ඇය මෙසේ කියා තිබෙනවා. “..... මම කියවපු සියලුම නවකතා අතරෙන් මා කැමැතිම නවකතාව ‘මළගිය ඇත්තෝ’. ඒක මගේ ජීවිතේට හුඟක් සමීපයි. මම එතුමාට ආදරෙයි. මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානයට ආවම මම එතුමා හමුවුණා... අපේ අවන්හලට එන බව එතුමා කිව්වා. එදා දවස පුරාම මම මඟ බලා හිටියා. ආවේ නැහැ. ඊළඟ දවසෙත් බලන් හිටියා ආවේ නැහැ. මොකක් හරි වැදගත් වැඩක් තියෙන්න ඇති.” (උපුටා ගැනීම ‘ඉරිදා ලක්බිම’ පුවත්පතිනි) එහෙත් ලාල් කියනකම් ඒ වෙනකොට මහාචාර්ය සරච්චන්ද්‍ර මළගිය ඇත්තන්ගේ ලෝකයට ගිහින් බව ඇය දැනන් ඉඳලා නැහැ.

නොරිකො ගේ ඇත්ත නම කිමිකෝ බවත් ඉහත ලිපියේ සඳහන්ව තිබෙනවා. (අකිකො කියන්නේ අවන්හලේ කාන්තාව‘ යන්නටයි.)

එතකොට දෙවෙන්දොරා සං? ඒ මහාචාර්ය සරච්චන්ද්‍රම ද? මේ චරිතය නිර්මාණය කිරීමේදි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ප‍්‍රකට චිත‍්‍ර ශිල්පි මංජු ශී‍්‍ර ගේ චරිතය බලපාලා තිබෙන බවක් කතාව මුලදි අපට පෙනෙනවා. එහෙත් පෙ‍්‍ර්මය පිළිබඳ වන අත්දැකීම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ම පෞද්ගලික ඒවා වෙන්න පුළුවන්.

’මළගිය ඇත්තෝ නිශ්චිත අවසානයකින් තොරව නිම නොවූවත් එහි දෙවැනි කොටස වන ‘මළවුන් ගේ අවුරුදු දා’. නවකතාව හමාර වන්නේ නිශ්චිත අවසානයකින්. එනම්, දෙවෙන්දොරා සංගේ මරණයෙන්.

ඉන්පසු තනිවන නොරිකෝ මෙහෙම කියනවා. “යළි ආ හැකි නිසා නොවෙද ඔහු යන්නේ? නොගිහින් යළිත් ආ නොහැකිය. යෑම හොඳය. ගොස් ඊමද හොඳය. ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්ට බැරිය. නොගිහින් එන්ට බැරිය.”

සු.මි.
සිළුමිණ

Wednesday, January 20, 2016

කවුද මේ තගා......??



" තග් " යන වචනය ඇසු පමණින්ම අපගේ මතකයට නැගෙන්නේ අපේ රටේ පාදඩ දේශපාලන සංස්කෘතිය හා ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කරන තක්කඩි කල්ලියයි. අපට බොහෝ හුරු පුරුදු තග් යන වචනය ඉංග්‍රීසි භාෂාවට පෙරලී ඇත්තේ ඉංග්‍රීසීන් විසින් ඉන්දියාව තම අධිරාජ්‍යවාදී විය ගසට ගැට ගැසීමෙන් අනතුරුවය. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව කන්නාඩ වේ. එම භාෂාවේ හොරා යන වචනය හඳුන්වන්නේ තකා ලෙසය. තකා යන වචනය ඉංග්‍රීසී බසින් උච්චාරණය වී ඇත්තේ තගා යනුවෙනි. අද වන විට දකුණු ආසියානු කලාපයට තග්ස් ලා නොමැතිව දේශපාලනය කිරීමද . රටේ නීතිය කරවීමටද බැරි තරම් වැදගත් තැනක් එම සංස්කෘතියට නිතැතින්ම හිමි වී ඇත. 

1740 සිට 1840 දක්වා කාලය තුල ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වල 'තග්' කල්ලි කණ්ඩායම් තමන්ගේ අණසක පතුරවමින් විසීය. මධ්‍ය කාලින යුගයේ විසු භායනකම මනුෂ්‍ය කොට්ඨාශය ලෙසද තගී වරුන් හඳුන්වනු ලැබීය. ඔවුන් කිසි විටක අවි ආයුධ පරිහරණය නොකළේය. එම කල්ලි වල මාරාන්තික අවිය ලෙස උපයෝගී කරගනු ලැබුවේ කපු රෙදි කඩකි. ශක්තිමත් නුලෙන් වියා ඇති එම රෙදි කඩ සෑම තගි සාමාජිකයෙකුගේම පසුම්බියේ තිබුණු අතර , මිනිසුන් මරා දැමීමේදී එක රෙදි කඩින් සතුරාගේ බෙල්ල තදින් වෙලා සිරකරනු ලබයි.

'තග්' සාමාජිකත්වය ඕනෑම කෙනෙකුට ලබාගත හැකි තනතුරක් නොවේ. එය බොහෝ විට පියාගෙන් පුතාට උරුම වුවකි. මධ්‍ය කාලීන යුගයේ විසු නුගත් ජනයා තග් කල්ලි හැඳින් වුයේ දාමරික කණ්ඩායමක් ලෙස නොව බලගතු පුජාවක් ඉෂ්ඨ කරන්නන් ලෙසය. මුළු මහත් සමාජයම ඔවුන් දෙස බැලුවේ බියකිනි. එම උප සංස්කෘතියට බඳවා ගන්නා සෑම ආධුනිකයෙකු හටම සියලු දුශ්චරිතයන් පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් ලබා දේ. එමෙන්ම දැඩි විනයකින් සියලුම සාමාජිකයින් බැඳ තබා තිබුණි. තමන්ට රිසි පරිදි කිසිවක් කිරීමට ඔවුන්ට හැකියාවක් නොතිබු අතර , සියල්ල සිදු වුයේ සාකච්චාවක ප්‍රතිපලයක් ලෙසය.

'තග්' කල්ලි විසින් බොහෝ විට මංකොල්ල කෑම් හා මිනී මැරුම් සිදු කරන්නේ ජන ශුන්‍ය ප්‍රදේශවලදීය. එවකට ඉන්දියාවේ ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ තවලම් මගිනි. එකී තවලමකට අවම වශයෙන් කරත්ත සියයක් හෝ තිබී ඇත. දින ගණනක් ගමන් කරනා මෙම තවලම් කරුවන් හා තග් වරු කුළුපග වේ. කිසිදු අවියක් හෝ නොපෙනෙන මේ මිනිසුන් ගැන විශ්වාශයක් ගොඩනගා ගන්නා තවලම් කරුවන් , ඔවුන් සමග කරට කර වැඩ කරමින් දුර ප්‍රදේශවලට ගමන් කරනු ලබයි. මේ කාලය තුල තග්වරුන්ගේ උපක්‍රම හා කපටිකම් තුලින් ගැලේ සිටින ධනවතා හඳුනා ගනී. අනතුරුව රාත්‍රිය උදාවීමත් සමගම මුදල් හා වස්තුව පැහැරගන්නා ඔවුන් , ගැලේ සිටි බොහෝ දෙනෙකු මරා පලා යයි.

'තග්වරු' මිනීමැරීමට උපයෝගී කරගත් රෙදි කඩ හැඳින් වුයේ රුමල් ලෙසය. එය බොහෝ විට කාකි පැහැයෙන් යුතු විය. පසුම්බියේ ඉතා සියුම් ලෙස සඟවා ගන්නා මේ මාරාන්තික ලේන්සුවෙන් වසර සියයක් තුල මිනිසුන් විසි ලක්ෂයක් මැරු බව මාර්ක් ට්වේන් විසින් ලියන ලද Following The Equvator පොතේ හා රිලීෆ් ටේලර් විසින් ලියන ලද Confession Of A Thug පොතේ සඳහන් වේ.

සටහන - චූලක බණ්ඩාරවත්ත

Monday, January 4, 2016

වැසි දියෙන් සක්‍රිය වූ සීගිරියෙ වතුර මල්


2015 වසර අවසානයේ ජීවිතේ අමතක නොවන ගමනක් යන්න ලැබීම පුදුම සතුටක්. හතර පස් වතාවක් සීගීරි ගිහිං තිබ්බත් අනෝරා මහ වැස්සේ සීගීරි ගල තරණය කිරීම සුන්දර අත් දැකීමක්. කැමරාව තෙමෙන්නෙ නැති වෙන්න කුඩයක් ඉහලගෙන අමාරුවෙන් දැඩි උත්සාහයක් දැරුවත් ඒ වැස්සෙන් බේරනේන නම් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මට ඉදිරියෙන් හිටිය කෙනොගෙ කුඩයෙන් බේරෙන වැසි දියෙන් ඊටත්  වඩා තෙමෙන්නයි සිදු වුණේ. කොහොම හරි සියලු ආරක්ෂක විධිවිධාන දාලා බෑග් එකක් අස්සට කැමරාව ඔබා ගත්තා. 

මෙන්න අප්පේ ලෝබ හිතෙන සුන්දර දර්ශනයක්. සීගීරි ගල මුදුනේ ඉදලා වැසි දිය වෑස්සෙනවා. හරියට දිය ඇල්ලක් කඩා හැලෙනවා වගෙ. දැං ඉතිං ආයෙ කැමරාව එළියට ගන්නවා බොරු. ඒ සුන්දර දසුන ඔබ  එක්ක බෙදා ගන්න තිබ්බ අපූරු අවස්ථාව අහිමි වීම ගැන මට දැනුත් පුදුම දුකක් දැනෙන්නෙ. 

2015 දෙසැම්බර් 27 වනදා තමයි අපි මේ සුන්දර අත් දැකීම් වින්ඳෙ. උදේ 10 .30 ට විතර සීගිරිය ගල නගින්න පටන් ගත්තු අපි ගලෙන් බහිද්දි හවස 5 ත් පහු. පෝය, නත්තල් සහ සති අන්ත දිග නිවාඩුව නිසා ලංකාවේ හතර වටින්ම ඉන්න මිනිස්සු සීගිරිය බලන්න ඇවිත්. 

අපිත් ඉදලා ඉදලා ගියේ මරු දවසක. එක පඩියක් නගින්න විනාඩි 5 ක් විතර ඉන්න වුණා. ඒත් මාත් එක්ක හිටිය අපේ සෙට් එක නිසා කාලය ගෙවුණා දැනුණේ නැහැ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉගෙන ගන්න මගෙ පන්ති සගයෝ තමයි මේ ගමනට සෙට් වුණේ. අපේ සහෝදරයෝ සෙට් එක කියපු කතා වලට හිනා වෙලාම අවසානයට ඔලුවත් පුපුරන්න කැක්කුමයි.

අවුරුදු 12 කට පස්සේ මං ආයෙත් මේ සීගිරි ගල නැග්ගෙ. දැං ඉතිං ටිකෙන් ටික වයසටත් ගිහිං නිසා අපේ පන්ති සගයන්ගෙ සහයෙන් තමයි සමහර අමාරු ස්ථාන නැග ගත්තෙ. කවුදෝ කට කැඩිච්චි පිට නඩයක එකෙක් කියනවා ඇහුණා මෙන්න බොලේ පවර් සෙට් එකක් ඇදන් යනවා කියලා. ඔන්න ඉතිං හිනා සාගරයයි. 

කොහොම හරි කට්ටක් කාලා සීගිරි ලලනාවන් බලන්න ගියා. මෙන්න බොලේ එතන ඉන්න ආරක්ෂක මහත්තයා කෑ ගහනවා නෝනා ෆොටෝ ගන්න වෙන දවසක එන්න කියලා. උදේ හිටං පුදුම කට්ටක් කෑවෙත් මේ ලලනාවෝ බලා ගන්න. අපි පුරාවිද්‍යා පශ්තාචාත් උපාධි ආයතනයේ ශිෂ්‍යෙයො කියන්නවත් අපේ ශිෂ්‍ය හැදුනුම්පත් පෙන්වන්න වත් අපි ගියෙ නැහැ. මේක ඒ මහත්තයාගෙ බූදලයනෙ කියලා හිතලා ඉවසා වදාරගෙන ආවා. හැබැයි ඒ මහත්තයාගෙ ෆොටෝ එකක් අල්ල ගන්න නම් අමතක කළේ නැහැ.

සීගිරි ලලනාවන්ගෙ සිතුවම් ඡායාරුප ගත කරගන්න ලැබුණු අන්තිම පිරිස අතරට එක්වන්න අපිටත් වාසනාව උදා වුණේ ඊට පහුවදාම සීගිරියෙ බදාම තට්ටුවක් කඩා වැටුණට පස්සේ ෆොටෝ ඇල්ලීම තහනම් කළ නිසයි. සීගිරි ලලනාවන්ගේ අාරත්ෂක මහත්තයා සද්දෙ දාද්දිත් මං ෆොටෝ අරං ඉවරයි. කැමරාව කියන්නේ මගෙ ඇගේම කොටහක් වගේ. ඉතිං ක්ෂණිකවම ෆොටෝ ගන්න පුළුවන් වෙච්චි එක වාසනාවක්. ෆ්ලෑෂ් ලයිට් ඕෆ් කරං විනයානූකූලව ෆොටෝ ගත්තත් ඒ මහත්තයාගෙ තිබ්බ ගාම්භීරත්තවයට අපිට පිටු පාන්න බැරි වුණා. මොකද ඒක ඒ මනුස්සයාගෙ හැදියාවනෙ කියලා හිතිච්චි නිසා.

ඊට පස්සේ සීගිරි කැටපත් පවුර. අප්පේ හිතේ හැටියට බලා ගත්තා. මිනිස්සු බහුතරයක් ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ. සීගිරි කුරුටු ගී වලට වඩා තියෙන්නෙ පසුකාලීනව කුරුටු ගෑ බලියි. ඒ අතර වාහන අංක. එක එක අයගෙ නම්. ඒ වගේම පහුගිය කාලේ මහත් ආන්දෝලනයකට ලක් වෙච්චි දෙමළ පාසල් ශිෂ්‍යාව කොණ්ඩ කට්ටෙන් කුරුටු ගෑ අකුරු 11 කින් යුත් නම. දැන් නම් ඒ ළමයා නිදහස් වී රස්සාවකුත් ලැබුණා කියලයි ආරංචිය. තව අවුරුදු සිය ගානක් ගියාම ඒවත් ඉතිං කුරුටු ගී වෙයිද දන්නෙ නැහැ.

ඔන්න කොහොමෙන් කොහොම හරි සිංහ පාදයට වෙනකල් නැග ගත්තා. අපොයි දැං නම් හරිම මහන්සියි. දවල්ට කාලත් නැහැ. ඒ මදිවට වැස්සට තෙමිලා ඇඟ තෙතම තෙතයි. සිංහ පාදෙන් නතර වෙන්න හිතුවත් පන්තියේ කොල්ලෝ ටික කොහොම හරි සීගිරි ගල මුදුනටම ඇදගෙන ගියා. මෙන්න දෙයියනෙ....මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. ළඟ ඉන්න කෙනාවත් පේන්නෙ නැහැ.ජීවිතේ ලබපු සුන්දරම අත් දැකීමක්. මේ වගේම අත් දැකීමක් ලැබුවා 2010 දි අලගල්ල කන්ද නැගපු දවසේත්.

මීදුම සැරෙන් සැරේ අතුරුදහන් වෙනවා. පුදුම ලස්සනක් පරිසරයෙ. ෆොටෝ ගන්න ආස වුණත් කැමරාව එළියට ගන්න විදියක් නැහැ. අනෝරා වැස්ස. වැස්ස ටිකක් අඩු වුණාම ෆොටෝ කිහිපයක් ගත්තා.
කොහොම හරි දැන් ඉතිං ආයෙ බහින්නත් එපැයි. නැග්ග වගෙයැ. බහින එක. 

මහ වැස්සකට පසු වැසි දියෙන් සක්‍රිය වූ සීගිරියෙ වතුර මල් දැක ගන්නත් මේ දෑස් පින් කිරීම පුදුම සතුටක්. තප්පර 32 ක් වැනි ඉතා කෙටි කාලයක වීඩියෝ ක්ලිප් එකක් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා මට හිතුනෙම නැහැ. මේ වෙද්දි ෆේස්බුක් එකේ 90 000 කට වැඩි (72,210 Views) පිරිසක් එය නරඹලා. ඉතිං මං හිතුවා අපේ බ්ලොග් අවකාශයේ ආදරණීය හිතවතුන් එක්ක මේ සොඳුරු අත් දැකීම් බෙදා ගන්න. ජීවිතේ අමතක නොවන හරි අපූරු අත් දැකීම් සමුදායක් එක්ක සතුටින් ගෙවුණු අපේ සීගිරි චාරිකාව සදා මතකයේම රැදේවි.

                                                                                                                                                                   - රුක්ෂිලා වෙත්තමුණි -



ෆේස්බුක් එකේ ලින්කුව