Saturday, June 27, 2015

මලය දේශයට තවත් පිවිසුමක්: කඩුගන්නාව පහළ මාවෙල රජමහා විහාරය පිළිබඳ ව සිදුකෙරුණු නව පුරාවිද්‍යාත්මක අනාවරණය කිරීම් හා මලය දේශයේ පුරාවිද්‍යාව

අධ්‍යයන සංක්‍ෂිප්තය
පහළ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත ප‍්‍රදේශයෙ සිදුකළ පුරාවිද්‍යා, මූලික අධ්‍යයන මඟින් අනාවරණය කරගත් දත්ත වඩා පුළුල් සන්දර්භයක බහා ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පුරාවිද්‍යාව, සමාජ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික භූගෝලීය විද්‍යා දෘෂ්ටියකින් විග‍්‍රහ කිරීම මෙම පත‍්‍රිකාවේ අරමුණයි. පහළ මාවෙල රජමහා විහාරය, වළගම්බා විහාරය, මාවෙල රජමහා විහාරය ආදි විවිධ නම්වලින් අනන්‍යගත වී පවත්නා මෙම ස්ථානය මාවනැල්ල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාකඩවර ග‍්‍රාම නිලධාරි වසමේ ස්ථානගත වෙයි. වළගම්බා රජු විසින් සකස් කරන ලද විහාරයක් බව කියැවෙන මෙහි ඇතැම් අංග ගම්පොළ රාජධානි සමයේ හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය විසින් සකසන ලද බවට ද විශ්වාසයක් පවතී. කටාර කොටන ලද ගල්ලෙන් පහකින් යුත් මෙම ක්‍ෂේත‍්‍රයේ විහාරය ආශ‍්‍රිත ව දාගැබ් ගෙය, පිළිම ගෙය හා ආවාස ගෙය දැකගත හැකි වෙයි. ප‍්‍රථම වතාවට මෙම ස්ථානයෙන් ආදී බ‍්‍රාහ්මී අභිලේඛන 4ක් අනාවරණය කරගැනීමට මෙම අධ්‍යයන මඟින් හැකි විය. මෙම ස්ථානයේ මෙන් ම කල්‍යාණිප‍්‍රදේශයේ සිට මධ්‍යම කඳුකරය දක්වා විහිදුණු ආදි බ‍්‍රාහ්මී ලිපි සහිත පිළිකුත්තුව, ලෙනගල, දීවෙල හා හීනටිපොනේ ආදී ස්ථාන රැසක් මඟින් මධ්‍යම දේශය දක්වා පිවිසුම් මඟක් සනිටුහන් කරන බව හඳුනාගත හැකි වෙයි. දිවයිනේ උතුරු, බටහිර හා හැගෙනහිර දෙසින් ආරම්භ වී මළය දේශය වෙත පැවැති පිවිසුම් මාර්ග මෙන් ම උක්ත මාර්ගය ද තෙත් කලාපය ඔස්සේ මලය දේශය වෙත ප‍්‍රවේශ වූ බව සිතිය හැකි වෙයි. මාවෙල විහාරය ද අයත් විස්තෘත කලාපයෙන් මධ්‍යශිලා, නවශිලා හා මූල ඓතිහාසික යකඩ යුග නිරූපණය කරන සාධක රැසක් අනාවරණය වීම මගින් මෙම කලාපයේ පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වෙනස් වීම ප‍්‍රතිනිර්මාණය කිරීමට හැකි වෙයි. මේ අනුව දිවයිනේ බටහිර කලාපයේ සිට මධ්‍යම කඳුකරය දක්වා තීරය මධ්‍යශිලා නවශිලා මූලඓතිහාසික යකඩ යුගය ඓතිහාසික යුගය යනුවෙන් ප‍්‍රධාන ස්තර තුනකින් සමන්විත ක‍්‍රමාවලියක් ගොඩනඟන බව පෙනේ. මෙමගින් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා මලය රට වෙත මානවයාගේ සංක‍්‍රමණය පැහැදිලි කරන සංස්කෘතික මාවතක් සනිටුහන් කරයි.  ඒ අනුව, ඓතිහාසික යුගයේ මූලාශ‍්‍ර තුළ අඩු සැලැකිල්ලක් ලැබී ඇති මලය දේශය වෙත උතුරු, නැගෙනහිර මෙන් ම බටහිර දෙසින් ද සිදු වූ සම්පත් හුවමාරු මාර්ග ප‍්‍රතිනිර්මාණය කිරීමට හැකි වෙයි. මෙම සාධක මධ්‍යම කඳුකරයේ සම්පත් පරිහරණය හා හුවමාරුව, සමාජ පුරාවිද්‍යාව හා මූල ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා නිර්මිත සුසමාදර්ශය පෝෂණය කිරීම සඳහා සාදාරණ වන බව තහවුරු වෙයි.
මූල පද : මාවෙල රජමහා විහාරය, ආදී බ‍්‍රාහ්මී අභිලේඛන,  මූල ඓතිහාසික යකඩ යුගය, පුරාවිද්‍යාත්මක භූ දර්ශනය, මලය දේශය
පළමු වන කොටස
හැඳින්වීම
ඓතිහාසික යුගයේ මලය දේශය, මලය රට්ඨ ආදී වශයෙන් හඳුනාගන්නා ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර කලාපය නව්‍ය හා අර්ථකථනාත්මක පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් යුක්ත ව විග‍්‍රහයනට බදුන් කිරීම තවමත් පසුගාමි තත්වයක පසුවෙයි. පුරාවිද්‍යාඥයන් කීපදෙනෙකු විසින් මධ්‍යම කඳුකරය පිළිබඳ සමාජ හා පුරාදේශගුණ විද්‍යාත්මක දෘෂ්ටීන් ඔස්සේ අධ්‍යයනය කිරීමට සාර්ථක උත්සාහයක් ගෙන ඇති අතර මෙම අධ්‍යයනය මඟින් මධ්‍ය කඳුකරයේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් සාදාරණ දායකත්වයක් දක්වනු ඇතැයි උපකල්පනය කෙරේ. ලංකාවේ වර්තමාන අගනගරයේ සිට මධ්‍යම කඳුකරයට ප‍්‍රවේශය සපයන කොළඹ-මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මර්මස්ථාන පිහිටුමක් පෙන්නුම් කරන පහළ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත කලාපය සම්බන්ධයෙන් සිදුකරන ලද ආරම්භක හා මූලික අධ්‍යයනය මඟින් අනාවරණය කරගන්නා ලද දත්ත හා ඒවායේ සමෝධානාත්මක ඵලයන් මෙම පත‍්‍රිකාව මඟින් ඉදිරිපත් කෙරේ.
ක්‍ෂේත‍්‍රයේ ස්ථානගතවීම
මාවෙල රජමහා විහාරය, වලගම්බා විහාරය, පහළ කඩුගන්නාව පහළ මාවෙළ රජමහා විහාරය ආදී විවිධ නම්වලින් අනන්‍යගත වී පවත්නා මෙම බෞද්ධ ක්‍ෂේත‍්‍රය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාෂයට අයත් මාකඩවර ග‍්‍රාම නිලධාරි වසමේ ස්ථානගත වෙයි. පුරාණ පාලන ඒකක බෙදීම් අනුව සතර කෝරළයේ ගනේ පත්තුවට මෙම ක්‍ෂේත‍්‍රය අයත් විය. නිරපේක්‍ෂ වශයෙන් උත්තර අක්‍ෂාංශ 0715’14” හා නැගෙනහිර දේශාංශ 80 29’ 54” ස්ථානගත වීමක් සටහන් වෙයි. කොළඹ-මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මානවැල්ල-ගනේතැන්න පසුකොට කඩුගන්නාව දුර්ගයේ පළමු අර්ධය පසු කරන විට සම්මුඛ වන කඩුගන්නාව පැරණි අම්බලම ඉදිරියෙන් ආරම්භව ගමන් ගන්නා පදික මාර්ගයේ මීටර් 500ක් පමණ ගමන් කිරීමේදි ප‍්‍රස්තුත ස්ථානයට ප‍්‍රවේශ විය හැකි වෙයි. වර්තමානයේ උඩුනුවර ලංකාතිලක විහාරයට අයත් ප‍්‍රධාන උප විහාර 5න් එකක් වශයෙන් මෙම විහාරයේ පාලන කටයුතු සිදු වෙයි.
පූර්ව අධ්‍යයන
ලාංකේය පුරාවිද්‍යා වංසකතාව පිරික්සා බැලීමේදි මෙම ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ අවම වශයෙනි. කෑගල්ල දිස්ත‍්‍රික්කය සම්බන්ධයෙන් ප‍්‍රශස්ත රචනයක් සැපැයූ හැරී චාල්ස් පර්විස් බෙල් විසින් තම වාර්තාවේ මෙම විහාරය සම්බන්ධයෙන් සංක්‍ෂිප්ත විස්තරයක් සපයයි. මහනුවර යුගයේ ප‍්‍රාථමික අධ්‍යාපනය හා සම්බන්ධ ග‍්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොත පිළිබඳ ව විචාරයක් ඉදිරිපත් කළ පන්නිල සාරානන්ද හා  ඕපාත ශ‍්‍රී සරණංකර යන හිමිවරුන් විසින් මෙම විහාරය පිළිබඳ ව සංක්‍ෂිප්ත විචාරයක් සපයා එම ස්ථානය විහාර අස්නේ දැක්වෙන මාවෙල විහාරය වශයෙන් හඳුනාගනී.
යටගියාව
මානවවංශ විද්‍යාත්මක සාධක අනුව මෙම විහාර වලගම්බා රජු මලය දේශයට වැදී අප‍්‍රකට දිවියක් ගතකරන සමයේ තම පරිහරණය සඳහා යොදාගෙන පසුව විහාරයක් බවට පරිවර්ථනය කරන ලද බව කියැවෙයි. එමෙන්ම ගම්පොල රාජධානි සමයේ හෙණකඳ බිසොබණ්ඩාර දේවිය විසින් මෙම විහාරයේ කර්මාන්ත සිදුකරන ලද බවත් ජනප‍්‍රවාදයේ එයි.  තත් අධ්‍යයනය මඟින් මෙම විහාරය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවයන යටගියාවකින් යුක්ත බව නිසැක ලෙස ම තහවුරු කිරීමට අවැසි සාධක පූරණය කරයි.
ක‍්‍රමවේදය හා උපකරණ
මෙම අධ්‍යයනය සඳහා පහත දැක්වෙන ක‍්‍රමවේදය අනුගමනය කරන ලද අතර පහත දැක්වෙන උපකරණයන්ගේ පිටිවහල ලබාගන්නා ලදී.
පර්යේෂණ ක්‍රමවේදය

උපකරණ: මීටර් 20 මිනුම් පටිය, ඩිජිටල් කැමරාව, බයිනෝක්‍යුලර්, ජී.පී.එස්, උපකරණය, ක්‍ෂේත‍්‍ර සටහන් පොත්
පුරාවිද්‍යාත්මක සාධකමෙම ක්‍ෂේත‍්‍රය කටාර කපන ලද ගල්ලෙන් 5කින් සමන්විත වෙයි. එයින් තුනක් විහාරය ආශ‍්‍රිත ව ස්ථානගත වන අතර දෙකක් විහාරයට මීටර් 50-100 නුදුරින් පිහිටා ඇත. විහාරය ආශ‍්‍රිත ව චෛත්‍ය ශාලාව, පිළිම ගෙය හා ආවාස ගෙය දැකගත හැකි වෙයි.  චෛත්‍ය ශාලාව තුළ අඩි 11.6ක් උසකින් යුතු ස්තූපය පිහිටා ඇති අතර අවස්ථා ගණනාවක දී නිධන් පහරන්නන්ගේ අබාධයට ලක් ව ඇත. එම ස්තූපය හෙණකඳ බිසෝබණ්ඩාර දේවීය විසින් සාදවන ලද්දක් බව ද විශ්වාස කෙරේ. නමුත් එම ස්තූපය සකස් කොට ඇති ගඩොළු පිළිබඳ අපගේ නිරීක්‍ෂණ අනුව ඉතා පැරණි කාලයකට අයත් විය හැකි බව උපකල්පණය කළ හැකි වෙයි. චෛත්‍ය ශාලාවේ ප‍්‍රවේෂය ඓතිහාසික යුගයේ මුල් කාලයට අයත් විය හැකි සඳකඩපහණක්, කොරවක්ගල් 2ක් හා පඩිපෙළකින් සමන්විත වෙයි. මෙයින් දකුණු කොරවක්ගල මත ආදීම බ‍්‍රාහ්මී ලේඛනයකි. (විස්තර සඳහා අභිලේඛන ශීර්ෂය යටතේ බලන්න) පිළිමගෙය තුළ අඩි 36ක දිගකින් යුතු මහනුවර ප‍්‍රදේශයේ දී හමුවන විශාලම සැතපෙන බුදුපිළිමයකි. ශ‍්‍රාවක ප‍්‍රතිමා මෙන් ම විශ්ණු ආදී දේව ප‍්‍රතිමාවන්ගෙන් ද සමන්විත මෙම විහාරය මහනුවර යුගයේ සිතුවම් සම්ප‍්‍රදාය නිරූපණය කරන සිතුවම් පෙළකින් ද සමන්විත වෙයි. රහතන් වහන්සේලා, රටා හා සැරසිලි මෝස්තර ආදියෙන් මෙම සිතුවම් සමන්විත වෙයි.
අභිලේඛන
පළමු වතාවට මෙම ක්‍ෂේත‍්‍රයෙන් ආදීම බ‍්‍රාහ්මී යුගයට අයත් අභිලේඛන 3ක් මේ දක්වා අනාවරණය කරගැනීමට මෙම අධ්‍යයන මගින් හැකි වී ඇත (මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍ෂේත‍්‍රයෙන් තවත් අදී බ‍්‍රාහ්මී අභිලේඛනයක් අනාවරණය කොටගෙන ඇත.) මෙම ක්‍ෂේත‍්‍රයේ විසිරී ඇති කටාර කපන ලද ගුහාවන්ගේ කටාරයට පහළින් ලිපි 3ක් දැකගත හැකි අතර අනෙක චෛත්‍ය ශාලාවට පිවිසෙන ස්ථානයේ කොරවක්ගල මත සටහන් ව ඇත. ක්‍ෂේත‍්‍රය හා තදාසන්න ගුහාවක කටාරයට පහළින් නිරූපණය කරන ලද චතුරස‍්‍රාකාර සංකේතය ද වැදගත් අනාවරණය කිරීමකි.
[1] [පරු]ම(ක) (කු)යන ච ගපති ශම කුලශ [ලෙනේ]
ප‍්‍රමුඛ කුයන ද ගෘහපති ශම පවුලේ ද ලෙනයි
අභිලේඛන අංක 1


[2] (1) (ප)රුමක.. ම .. හ .. [ඣ]
(2) (ක ච .. .. .. ..)
ප‍්‍රමුඛ . . . .
අභි‍ලේඛන අංක 2

3] බතිමශ
බත්තිම (නම් තැනැත්තා)ගේ
අභිලේඛන අංක 3
[4]   සමචතුරස්‍රාකාර සංකේතයකි - [බ]

අභිලේඛන අංක 4


දෙවන කොටස
විස්තෘත කලාපය - පුරාවිද්‍යාත්මක භූ දර්ශනය හා එහි ගතිකත්වය
මාවෙල විහාරයෙන් අනාවරණය වූ සාධක විස්තෘත කලාපයක තබා විග‍්‍රහ කිරීම මෙම ක්‍ෂේත‍්‍රයේ පවත්නා වැදගත්කම ඉස්මතු කරගැනීමෙහිලා වැදගත් වෙයි. මෙම අධ්‍යයනයට බඳුන් වූ ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වන ආදීතම සාධක මූල ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 500-ක‍්‍රි.ව. 300) දක්වා දිවයයි. එහෙත් කොළඹ සිට මහනුවර වෙරළබඩ තැන්න අඩතැන්න හා කඳුකරය දක්වා තීරය පරික්‍ෂා කිරීමේදී ප‍්‍රාග් ඓතිහාසික තත්වයන්ගේ සිට සාධක සංකේන්ද්‍රණය වන බව තහවුරු වෙයි. එබැවින්, කොළඹ -මහනුවර දක්වා තීරයේ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක අධ්‍යයන අනුව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ සිදු වූ වෙනස්කම් පිළිබඳ අවධානයක් යොමු කිරීම වැදගත් වනු ඇත. ඒ අනුව අනාවරණය වන පැරණිම සාධක ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයයි.
ගම්පහ වාරණ, අලවල පොත්ගුල්ලෙන, කිතුල්ගල බෙලිලෙන හා අත්තනගොඩ අළුලෙන ආදී ස්ථාන මඟින් නිසැක ලෙස ම මධ්‍යශිලා යුගයට අයත් සාධක අනාවරණය වන බව තහවුරු වෙයි. එමෙන් ම වරකාපොළ දොරවකකන්ද හා ගම්පහ වාරණ යන ස්ථාන මඟින් "පශ්චාත් මධ්‍යශිලා" තත්වයක් පිළිබඳ සාධක අනාවරණය වන බව පෙන්වා දීමට පුරාවිද්‍යාඥයෝ සමත් වී ඇත. (එහෙත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු තත්වයක් පවතී.) එනම් මධ්‍යශිලා යුගයෙන් පසුව හා ප්‍රොටෝ ඓතිහාසික යුගයට පෙර නවශිලා යුගය නිරූපණය කරන සාධක අනාවරණය වන ක්‍ෂේත‍්‍ර මෙම ප‍්‍රදේශයේ ස්ථානගත වන බව සැකයකින් යුතු ව වුවත් පැහැදිළි වෙයි.

සිතියම් අංක 1 - ප්‍රාග් ඓතිහාසික ස්ථානයන්ගේ ව්‍යාප්තිය


මෙම විස්තෘත කලාපයට අයත් අලවුව හක්බෙලිකන්ද, වරකාපොළ දොරවකකන්ද හා මොලගොඩ ආදි ස්ථාන මඟින් ප‍්‍රාථමික ශෛලියට අයත් ගුහා සිතුවම් (engravings) හමු වන බව පෙනී යයි.
පසුව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වෙනස පැහැදිළි කරමින් ප්‍රොටෝ ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 1,000-ක‍්‍රි.පූ. 500)නිරූපණය කරන සාධක රැසක් ද මෙම කලාපයෙන් අනාවරණය වෙයි. ඒ අනුව කලඔටුවාව, ගල්අතර, රුවන්වැල්ල, අස්මඬල හා රඹුක්කන පදවිගම්පොල යන ස්ථාන මඟින් මෙම අවධියේ සාධක අනාවරණය වෙයි.
සිතියම් අංක 2 - ප්‍රොටෝ ඓතිහාසික ස්ථාන

එයින් පසු මූල ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 500-ක‍්‍රි.ව. 300) යුගය නිරූපණය කරමින් කටාර කපන ලද ගුහා ක්‍ෂේත‍්‍ර මෙන් ම ආදිම බ‍්‍රාහ්මී අභිලේඛන සහිත ස්ථාන හමු වෙයි. ඒ අනුව පිළිකුත්තුව, වාරණ, ලෙනගල, සල්ගහවනේ, අටුගොඩ, දීවෙල, ධනගිරිගල හා හීනටිපොනේ මෙන් ම මෙම අධ්‍යයනයේ ඉලක්කගත ක්‍ෂේත‍්‍රය වන මාවෙල රජමහා විහාරය ද අයත් වෙයි. තත්කාලීන පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ ලක්‍ෂණ නිරූපණය කරන උච්ච ම ස්ථානය වශයෙන් මාවෙල වැඩිදුරටත් හඳුනාගත හැකි වෙයි. මෙම අභිලේඛන තුළ ”පරුමක” වැනි පූර්ව රාජ්‍ය සමයේ නියෝජනයක් විය හැකි අභිධාන අන්තර්ගත වී තිබීම බෙහෙවින් ම සැලැකිල්ලට ගත යුත්තෙකි.
සිතියම් අංක 3 - ආදී බ්‍රාහ්මී අභිලේඛන ව්‍යාප්තිය


මෙම ආදීම අභිලේඛන අතර පූර්ව රාජ්‍යය යුගයේ පැවැති පාලන අධිකාරි පිළිබඳ සාධක අන්තර්ගත වූ අභිලේඛන සහිත ස්ථාන වූ යටහලෙන, ගොනාවත්ත හා බඹරගල යන ස්ථානයන් පිළිබඳ සාධක ස්ථානගත වී ඇත. මෙම ස්ථාන අතර කේන්ද්‍රීය ස්ථානගත වීමක් මාවෙල විහාර ක්‍ෂේත‍්‍රය පෙන්නුම් කරයි.
සිතියම් අංක 4 - පූර්ව රාජ්‍ය පාලන අධිකාරි

සිතියම් අංක 5 - විවිධ පුරාස්ථානයන්ගේ ව්‍යාප්තිය

උක්ත සාධක පිළිබඳ ව සලකා බැලීමේදී නිසැක වශයෙන් ම සමාජ-තාක්‍ෂණික වශයෙන් සිදුවන්නා වූ වර්ධනයට සාපේක්‍ෂකව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වූ වෙනස්වීම් මැනවින් සටහන් කරන බව පෙනී යයි. එය පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට ක‍්‍රමාවලියක් නිරූපණය කරන බව හඳුනාගත හැකි වෙයි.


සමෝධානාත්මක කථිකාව
උක්ත කරුණු අනුව ලංකාවේ බටහිර වෙරළ කලාපයේ ස්ථානගත වූ කොළඹ සිට මධ්‍යම කඳුකරයේ මහනුවර දක්වා අවිච්ජින්න සංස්කෘතික මාවතක් ගමන් ගන්නා බව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ ක‍්‍රමික වෙනස්වීමේ ලක්‍ෂණ අනුව මැනවින් පෙනී යයි. එනම් ප‍්‍රාග් ඓතිහිසික යුගයේ සිට වර්තමානය දක්වාම පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ක‍්‍රියාත්මක වූ ද්විපොෂණාත්මක සංස්කෘතික මාවතක් පැවැති බව පෙනී යන අතර ම ඒ ඔස්සේ මධ්‍යශිලා මානවයා කඳුකරයේ සිට පල්ලම් බැසීමටත් නොහොත් මහඑළියේ සිට බෙල්ලන්බැඳිපැලැස්ස හරහා දක්‍ෂිණ වෙරළ තීරය දක්වා පල්ලම් බැස වෙරළ තීරය ඔස්සේ බටහිර වෙරළට පැමිණ නැවැතත් තමන්ගේ අවසන් නවාතැන වෙත සොයා කඳු තරණය කළ බවත් උපකල්පනය කිරීමට යම් සම්භාවිතාමය අවස්ථාවක් මෙයින් හමු වෙයි. මෙම ද්වි ස්වරූපී ගමනේ පිවිසුම් ද්වාරයක් කඩුගන්නාව පහළ මාවෙළ ස්ථානය අයත් කරගන්නා බව පැහැදිළි වෙයි. වර්තමානයේ භෞතික වශයෙන් ශේෂගත වී පවත්නා කටාර කැපීමට ලක් වූ ගුහා හා ආදීම බ‍්‍රාහ්මී ලේඛන මෙයට සාධක සපයයි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතිය පිළිබඳ තවත් පිටුවක් මෙම ස්ථාන හා ආබද්ධ බව විධිමත් දීර්ඝකාලීන අධ්‍යයන මඟින් අනාවරණය කරගත හැකි බව නිසැක ය.
නිගමන
ඉහත විග‍්‍රහය අනුව ශ‍්‍රි ලංකාවේ බටහිර වෙරළ තීරයේ සිට මධ්‍යම කඳුකර කලාපය වෙත ඇදී ආ හා මධ්‍යම කඳුකරයේ සිට වෙරළ තීරය දක්වා ඇදී ගිය සංස්කෘතික මාවතක් පිළිබඳ සාධක අනාවරණය කරගත හැකි වෙයි. වර්තමාන සමාජ-ආර්ථික පසුබිම තුළ දිවයිනේ කැපීපෙනෙන මාවතක් වන සේම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම තත් මාවත වැදගත් වු බව පෙනී යයි.  මෙම පත‍්‍රිකාවෙන් ඉදිරිපත් කළ කේන්ද්‍රිය ක්‍ෂේත‍්‍රය වූ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත මෙම සංස්කෘතික මාවතේ ”කඩදොරක” ස්වභාවයක් නිරූපණය කළ බව උපකල්පනය කළ හැකි වෙයි.















 ලිපියෙහි සම්පත් දායකත්වය
චන්දිම බණ්ඩාර අඹන්වල
මහින්ද කරුණාරත්න
උපුටා ගන්නා ලද්දේ...
http://si.archaeology.lk/article.php?articleID=1318

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • Ambanwala, C.B. & M. Karunaratna, (2009) Another Approach to the Malaya Desa in Ancient Sri Lanka: New Archaeological Revelation in and around Pahala Mavela Temple at Kadugannava, Peradeniya University Research Sessions - PURSE 2009, University of Peradeniya, Sri Lanka.
  • Bell, H.C.P. (1904) Report on The Kegalla District of the Province of Sabaragamuwa, Archaeological Survey of Ceylon.
  • Gunawardhana, R.A.L.H. (1998) Prelude to the State An Early phase in the Evolution of Political Institutions in Ancient Sri Lanka, Reflection on a Heritage, Central Cultural Fund, Sri Lanka.
  • Nandadeva, B.D. (1986) Rock Art Sites Of Sri Lanka: A Catalogue, Ancient Ceylon No. 6, Department of Archaeology, Sri Lanka.
  • Paranavitana, S. (1970) Inscriptions of Ceylon Vol.I, Archaeological Survey of Ceylon, Colombo.
  • Perera, N. (1996) Excavations of Early Historic Clay Cist Graves Attanagalla Kalotuwawa In Gampaha District" Department Of Archaeology, Colombo.
  • Seneviratna, S. (1984) The Archaeology of the Megalithic Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No. 5, Department of Archaeology, Sri Lanka.
  • Wijeypala, W. H. (1997) New Light On The Prehistory Of Sri Lanka∙ In The Context Of Resent Investigations At Cave Sites,  A thesis submitted for the degree of Doctor of Philosophy of the University of Peradeniya, Sri Lanka, (unpublished)











Thursday, June 11, 2015

කවුද මේ පෝල්.ඊ. පීරීස්.....

පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල

අද මං හිතුවා බ්ලොග් කියවන හිතවතුන්ට අපේ රටේ සිටි වටිනා බුද්ධිමතෙක් ගැන කරුණු ටිකක් දැන ගන්න සැලැස්සුවා නම් හොඳයි කියල. පුරාවිද්‍යාව විෂයක් විදියට හැදෑරූ නිසා මං නම් මේ වගේ ලිපි වලට පුදුම විදියට කැමතියි. සෙනරත් පරණවිතාන යන නම කිවූ පමණින් බොහෝ අය ඔහුව හඳුනා ගත්තත් පෝල්.ඊ. පීරීස් දැරණියගල එහෙමත් නැත්නම් පී.ඊ.පී. දැරණියගල කිව්වා නම් බොහෝ දෙනෙක් නොදන්නා ඇති බවට විශ්වාසයි.මේ ලිපිය 2011 වසරේදී දිවයින බදාදා අතිරේකයෙ පළ වුවකි. මෙය සම්පදානය කළ මා හිතවත් කැලුම් මනමේන්ද්‍රආරච්චි සොයුරා වර්තමානයේ අප රටේ ඉන්නා දක්ෂතම සත්ත්ව විද්‍යාඥයෙකි.ඔහු පිළිබඳ සටහනක් නුදුරේදීම ඔබ හා බෙදා ගන්නට බලාපොරොත්තු වෙමි


ශ්‍රී ලංකාවට විශාල කීර්තියක්‌ මෙන්ම විශේෂයෙන්ම සත්ත්ව විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව හා ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව උදෙසා අතිමහත් සේවයක්‌ කළ දැරණියගල මහතා පිළිබඳ ඔබට සුළු විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීම මේ ලිපියේ මූලික අරමුණ වේ. මෙම ලිපියට අදාළව එතුමා පිළිබඳව සුළු විස්‌තරයක්‌ පමණක්‌ ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළ නමුදු ඔහු සම්බන්ධව සුවිසල් ග්‍රන්ථයක්‌ පළ කිරීමට තරම් කරුණු මේ වන විට මා සතුව ඇත. 1980 දීමා හට මුණගැසුණු පුංචි බණ්‌ඩා කරුණාරත්න සහ 1985දී මුණගැසුණු පී.බී. සරනේලිස්‌ යන නැසීගිය මහතුන් දෙපළ මෙම ලිපිය සම්පාදනය කිරීමේදී ප්‍රථමයෙන් හ`දුන්වා දීමට කැමැත්තක්‌ දක්‌වනුයේ ඔවුන් දැරණියගල මහතා පිළිබඳව බොහෝ පෞද්ගලික කරුණු කාරණා මා වෙත ලබාදුන් නිසාවෙනි. කරුණාරත්න මහතා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥයෙකු ලෙස සේවය කළ අතර ඔහු ආචාර්ය පී.ඊ.පී. දැරණියගල සහ ආචාර්ය සිරාන් දැරණියගල සම`ග සමීප ඇසුරක්‌ දක්‌වමින් ඔවුන් සම`ග පර්යේෂණවල නිරත වූ ස්‌වභාව විද්‍යාඥයෙකි. සරනේලිස්‌ මහතා පී.ඊ.පී. දැරණියගල මහතා සම`ග ඔහුගේ කැණීම්, ගවේෂණ හා සතුන් එකතු කිරීමේ චාරිකාවලට සහභාගී වෙමින් එතුමා සම`ග සමීප ඇසුරක්‌ පැවැත්වූ අයෙකු විය. මෙම දෙපළ විසින් පී.ඊ.පී. දැරණියගල පිළිබඳව බොහෝ කරුණු මා වෙත යොමු කළද මෙහි අඩංගුව ඇත්තේ එයින් අල්පයකි. 

වසර 1900 මැයි මස 8 වන දින පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතා උපත ලැබීය. එවකට මෙරට විසූ ධනවත්, උගත් හා බලවත් පවුලක සාමාජිකයකු ලෙස උපත ලැබූ දැරණියගලගේ පියා වූයේ සර් පෝල් එඩ්වඩ් පීරිස්‌ ය. මව වූයේ හිල්ඩා ඔබේසේකර මැතිණියයි. සර් පෝල් පීරිස්‌ භාෂාව හා ඉතිහාසය පිළිබඳ පුළුල් දැනුමකින් හෙබි බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර සමයේ කැපී පෙනෙන සිවිල් නිලධාරියකු මෙන්ම එවකට පැවති පාලනයේ නීතිය පිළිබඳ විශාරදයෙකුද වෙයි. ළාබාල දැරණියගල තම මුල්ම අධ්‍යාපනය රජයේ පුහුණු විද්‍යාලයෙන් ද (Government
Training Collage) ඉන් අනතුරුව මට්‌ටක්‌කුලියේ පිහිටි පසු කලෙක ගල්කිස්‌සේ ස්‌ථාපිත කරන ලද සාන්ත තෝමස්‌ කොලීජියෙන්ද හදාරන ලදි. මෙරට මූලික අධ්‍යාපනික වැඩ කටයුතු නිමවා කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම අතරතුර පැවති කාලයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව කායවිච්ඡෙ¨දන විද්‍යාව (Anatomy) හැදෑරීය. 1919 දී සත්ත්ව විද්‍යාව හැදෑරීමට කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයටත්, ඉන් අනතුරුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයටත් ඇතුළත් විය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය නිමවීමෙන් අනතුරුව 1925 දී ශ්‍රී ලංකාවට පැමිණ කෞතුකාගාර සහ ධීවර දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. ඉන් අනතුරුව 1937 දී සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු ලෙස කොළඹ කෞතුකාගාරයේ වැඩබලන අධ්‍යක්‌ෂ තනතුරක්‌ ලැබිණි. තිස්‌නව වියෑති පී.ඊ.පී. දැරණියගල වසර 1939 අප්‍රේල් මස විසිහත් වන දින කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ලෙස පත් විය. මෙතුමා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයා විය. 1963 ජූලි මාසයේ එම තනතුරින් විශ්‍රාම යන තෙක්‌ම කෞතුකාගාර අධ්‍යක්‍ෂ ධුරය දරමින් පර්යේෂණ හා ප්‍රකාශන ගණනාවක්‌ම ලොව හමුවේ තබමින් එම දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර මට්‌ටමින් කීර්තියක්‌ ලබා දුන්නේය. වසර 1934 ජූනි මස 28 වන දින හෙතෙම දහනව වියෑති ප්‍රීණි මොලමුරේ මෙනෙවිය සම`ග විවාහ ගිවිස ගත්තේය. මෙම දෙපළ පුතුන් සිව්දෙනෙකුගේ දෙමාපියන්a වූහ. ඒ අර්ජුන්, රනිල්, සිරාන් සහ ඉසාන්ත් ය. මේ අතරින් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව ප්‍රගුණ කරමින් පියාගේ අඩිපාරේ ගමන් ගත්තේ සිරාන් පුතුය.

'ලොවින් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත' යන කියමන අරුත් සුන් කරමින් දැරණියගල තම ජීවිත කාලය තුළ විෂය ක්‌ෂේත්‍ර ගණනාවකම කෙළ පැමිණීමට තරම් දක්‌ෂයෙකු විය. එතුමා තම ජීවිත කාලය තුළ පළ කරන ලද ශාස්‌ත්‍රීය ලිපි, ග්‍රන්ථ, පරිපාලන වාර්තා ආදිය හාරසියයක්‌ පමණ වේ. මත්ස්‍ය විද්‍යාව, උර`ග හා උභයජීවී විද්‍යාව, පක්‌ෂී විද්‍යාව, ක්‌ෂීරපායී විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව ආදී ස්‌වභාව විද්‍යා විෂයන්ද ඊට අමතරව ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව, පැරණි බිතු සිතුවම්, දැව කැටයම්, ඇත් දළ කැටයම්, පැරණි සටන් ක්‍රමෝපායන්, කුකුළන් කෙටවීම ඇතුළු අනෙකුත් සතුන් පොරයට යෙදවීම, පැරණි ආයුධ ඇතුළු පුරාවස්‌තූන් ආදි ක්‌ෂේත්‍ර ගණනාවක්‌ම සම්බන්ධව පර්යේෂණවල නියුතු වෙමින් ශාස්‌ත්‍රීය ලිපි ගණනාවක්‌ පළකොට ඇත. ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි 1929 සිට 1975 තෙක්‌ම අඛණ්‌ඩව පළ විය. මීට අමතරව තෙල් සායම්, දිය සායම් චිත්‍රවලට ද, දැව කැටයම්වලට ද දැරණියගල මහතා උපන් හපනෙකි. ඔහු විසින් රචිත ශාස්‌ත්‍රීය ලිපි හා ග්‍රන්ථ සඳහා අවශ්‍ය වූ බොහෝ චිත්‍ර අඳින ලද්දේ ඔහුමය. ඒ චිත්‍ර නිර්මාණයන් අතර ප්‍රකාශයට පත් නොකළ චිත්‍ර 500 කට වැඩි සංඛ්‍යාවක්‌ ආචාර්ය සිරාන් දැරණියගල මහතා සතුව ඇත. ඒ අතරින් බොහෝමයක්‌ මා විසින් පිටපත් කරගැනිණි. ඒවා අතර මසුන්, සර්පයින්, කටුස්‌සන්, හූනන්, පක්‌ෂීන් ආදි සතුන් ඇඳ ඇත්තේ පරිමාණ චිත්‍ර ලෙසය. මසුන්ගේ, සර්පයින්ගේ, කටුස්‌සන්ගේ ශරීරයේ වූ කොරළ සංඛ්‍යාව, පිහිටීම ආදිය මෙන්ම ඒ ඒ අවයවල පිහිටීම ද ඉතා නිවැරදි ව දක්‌වා ඇත. මේ නිසා ඒ සත්ත්ව රූප වැදගත් වනුයේ හුදෙක්‌ චිත්‍ර ලෙසින් පමණක්‌ම නොවේ. පී.ඊ.පී. දැරණියගල විසින් දිය සායම් මාධ්‍යයෙන් අඳින ලද පක්‌ෂී රූප රැසක්‌ වුවද ඒවා මේ වන තෙක්‌ පළ කොට නොමැත. ඒ අතර රාජාලීන්, උකුස්‌සන් හා කෑදැත්තන් වේ. එතුමා කෞතුකාගාර සේවයෙන් විශ්‍රාම ගැනීමට සමීප සමයේ ක්‌ෂීරපායින් පිළිබඳව ග්‍රන්ථයක්‌ සම්පාදනය කරමින් සිටි අතර ඒ සඳහා නිර්මාණය කරන ලද රූප රැසකි. නමුත් අභාග්‍යයකට මෙන් ඒ ග්‍රන්ථය එළිදැක්‌වීමට ඔහුට නොහැකි විය. මසුන්, සර්පයන්, කටුස්‌සන්, හූනන් හා ඉදිබුවන් ඇතුළත් වර්ණ රූප සහිත ග්‍රන්ථ තුනක්‌ පළ කෙරිණි. A coloured atlas of some vertebrates from Ceylon යනුවෙන් වෙළුම් තුනක්‌ ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා ශාස්‌ත්‍රීයව ලියා ඇති මේ ග්‍රන්ථ ත්‍රිත්වය 1950 දශකයේදී කෞතුකාගාර ප්‍රකාශන ලෙස එළිදැක්‌විණි. මීට අමතරව කැස්‌බෑවුන් හා උර`ගුන් පිළිබඳවද, අලින් පිළිබදවද, ප්ලයිස්‌ටොසීන අවධිය පිළිබඳවද ශාස්‌ත්‍රීය ග්‍රන්ථ කිහිපයක්‌ම එළි දක්‌වා ඇත. අලින් පිළිබඳව ග්‍රන්ථයක්‌ ඇතුළු ශාස්‌ත්‍රීය ලිපි ගණනාවක්‌ම එළි දක්‌වන ලද දැරණියගල මේ සත්ත්වයා කෙරෙහි විශේෂ උනන්දුවක්‌ දක්‌වා ඇති බව පෙනේ.

දැරණියගල විසින් අඳින ලද වනජීවින්ගේ රූප කිහිපයක්‌






දැරණියගල දුටු බළංගොඩ මානවයා










  පොතු කැස්‌බෑවා










කරමල් බෝදිලිමා








කෙනත් පේඡ් ඕක්‌ලී නම් පුරාවිද්‍යාඥයා 1980 දී සම්පාදනය කළ පුරාවිද්‍යාව පිළිබඳ ශාස්‌ත්‍රීය ලිපියක පී.ඊ.පී. දැරණියගල මහතා රුක්‌අත්තන දැවයෙන් නිම වූ ශ්‍රී ලංකාවේ ආදි මානවයා හෙවත් බලංගොඩ මානවයාගේ කැටයමක රේඛා චිත්‍රයක්‌ ඇතුළත් කොට තිබුණි. මේ සුවිශේෂී කැටයම ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති බව එහි වැඩිදුරටත් සඳහන් විය. 1996 දී සත්ත්වවිද්‍යා පර්යේෂණ කටයුතු සඳහා මා ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිය මොහොතේ එම දැව කැටයම පිළිබඳව මා නෙත ගැටිණි. එවකට ඒ කැටයම බාරව සිටි මහත්මියට කල්තියාම ලිපි යොමු කොට එය අධ්‍යයනය කිරීමට අවසර ඉල්ලා තිබුණි. එහිදී එතුමිය ඒ කැටයම තැන්පත් කොට ඇති බ්‍රිතාන්‍ය ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ පිහිටි විශේෂ කුටියට මා කැඳවාගෙන ගියාය. ලොව නන් දෙසින් පැමිණි සුවිශේෂී කලා කෘති මෙම දැවැන්ත ශාලාවේ තැන්පත් කොට තිබෙනු මට දැකගත හැකි විය. විස්‌මය උපදවමින් ඒ කුටියේ මේසයක්‌ මත තැන්පත් කොට තිබූ පී.ඊ.පී. දැරණියගල මහතාගේ නිර්මාණයක්‌ වූ බලංගොඩ මානව කැටයම දැකගත හැකිවිය. අඩියක්‌ පමණ උසැති මේ කැටයමින් නිරූපණය වනුයේ බලංගොඩ මානවයාගේ උඩුකයයි. මිල කළ නොහැකි ලොව වටිනා චිත්‍ර හා දුර්ලභ ගණයේ කලා කෘතිවලින් පිරි තිබුණු මේ කුටිය විදුලි බුබුළුවලින් ආලෝකවත් කර නොතිබුණේ චිත්‍රවල වර්ණයන් තවදුරටත් සුරක්‌ෂිතව තබා ගැනීමට අවශ්‍ය වන නිසාය. මේ කැටයම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඡායාරූප ලබා ගැනීමට අවශ්‍ය යෑයි එම එතුමියට දැන්වූ අතර කැමරාවේ ක්‌ෂණික විදුලි බුබුළ දැල්වීමට ඇයගෙන් අවසර නොලැබිණ. කෙසේ වුවද විශේෂ අවසරයක්‌ මත කැමරා ආලෝකය සහිතව එක්‌ ඡායාරූපයක්‌ පමණක්‌ ගැනීමට අවසර ලැබිණි. මේ කැටයම සත්‍ය ලෙසම උසස්‌ හා අග්‍රගන්‍ය නිර්මාණයක්‌ බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. මෙයට අමතරව එතුමා විසින් නෙළන ලද තවත් කැටයම් කිහිපයක්‌ ශ්‍රී ලංකාවේ ඇත. ඒවා නම් ප්ලයිස්‌ටොසීනයේ ජීවත්ව සිට වඳවී ගිය හස්‌තියෙකුගේ රුවක්‌, අප්‍රිකාවේ ජීවත්ව හිඳ වඳව ගිය හිපොපොටේමසෙකුගේ හිසක්‌, පොර කුකුළෙකු ආදිය වේ. ඒ කැටයම් ආචාර්ය සිරාන් දැරණියගල සතුව කුරුවිට එක්‌නැළිගොඩ වලව්වේ ඇත. පී.ඊ.පී. දැරණියගල මහතාගේ චිත්‍ර හා කැටයම් රැසක හිමිකරුව ඇත්තේ ආචාර්ය සිරාන් දැරණියගලය. ඔහු ඒ කෘති වසර ගණනාවක්‌ ඉතා සුරක්‌ෂිතව තබා ගැනීම පිළිබඳව අප ස්‌තූතිවන්ත විය යුතුය. 

ශ්‍රී ලංකාවේ පාෂාණිභූත අධ්‍යයනය ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද්දේ පී.ඊ.පී. දැරණියගල මහතා විසිනි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ වූ තබ්බෝව, ආ`ඩිගම හා පල්ලම පිහිටි වසර මිලියන 100 ක්‌ පමණ පැරණි, ජුරාසික්‌ යුගයට අයත් පර්ණාංග ආදී ශාක ෆොසිලත්, යාපන අර්ධද්වීපයේ හා ගිනිකොනදිග ශ්‍රී ලංකාවේ වූ මිනිහා ගල් කන්දේ පිහිටි, වසර මිලියන 2505ත් අතර පිහිටි මයෝසීන යුගයට අයත් සත්ත්ව ෆොසිලත්, රත්නපුර කේන්ද්‍ර කොට ගත් ඒ ආශ්‍රිත කලාපයේ දියලු තැන්පතු අතරේ මැණික්‌ බොරැල්ලේ හමුවන වසර මිලියන 2 - වසර 10,000 කාලයට අයත් ප්ලයිස්‌ටොසීන අවධියේ ජීවත් වූ විශාල ක්‌ෂීරපායී සතුන්ගේ ෆොසිලත් එතුමාගේ පර්යේෂණ සඳහා බ`දුන් විය. මයෝසීන යුගයට අයත් සමුද්‍ර ෆොසිල අතර එකයිනොඩොමෙටාවන්, මොලුස්‌කාවන්, කකුළුවන් ආදී අපෘෂ්ඨවංශී සතුන්ද, කාටිලේජීය මසුන්, අස්‌ජික මසුන්, කැස්‌බෑවුන්, ඉබ්බන්, තල්මසුන්, ඩොල්ෆින් හා මුහුදු ඌරන් ආදි සතුන් ද සම්බන්ධව පිළිබඳව දැරණියගල පර්යේෂණ සිදුකොට ඇත. මේ පුරාණ සතුන් අතරින් නව විශේෂ කිහිපයක්‌ද නම් කිරීමට හෙතෙම සමත් විය. ඔහු ශාස්‌ත්‍රීය ලිපි බොහෝ ගණනක්‌ ලියා පළ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්ලයිස්‌ටොසීන අවධියට අයත් විශාල ක්‌ෂීරපායී සතුන් පිළිබඳවය. ඉන්දියාවේ නර්මදා හා ෂිවාලික්‌ ෆොසිල තැන්පතුවලට සමීප ඥාතීත්වයක්‌ දක්‌වන ශ්‍රී ලංකාවේ ප්ලයිස්‌ටොසීන ෆොසිල නියෝජනය කරන සත්ත්ව කාණ්‌ඩයට 'රත්නපුර සත්ත්ව සන්තතිය' යනුවෙන් එතුමා විසින් නම් කෙරිණි. ශ්‍රී ලංකාවේ රත්නපුර සන්තතිය ප්‍රධාන වශයෙන් නියෝජනය කරනුයේ හස්‌තීන්, ක`ගවේනුන්, ගවරා, සිංහයා, හිපොපොටේමස්‌ ආදී විශාල ක්‌ෂීරපායින් මෙන්ම කිරි ඉබ්බන් සහ ගල් ඉබ්බන් ආදි උර`ගුන්ද වේ. මේ ෆොසිල පිළිබඳව 1940 දශකයේ සිටම එතුමා උනන්දුවෙන් තම පර්යේෂණ සිදුකළ බව ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි අනුව සනාථ වේ. මැණික්‌ ගරන්නන් විසින් ඔහුට ලැබෙන්නට සැලැස්‌වූ මේ ෆොසිල ම`ගින් නෂ්ටප්‍රාප්ත වූ ජීවවිවිධත්වය පිළිබඳව ඉතා සිත්ගන්නාසුලු විද්‍යාත්මක කරුණු ගොඩනැංවීමට එතුමා උත්සුක විය. අවිස්‌සාවේල්ල හා රත්නපුරය අතර වූ සමතල ප්‍රදේශය ප්ලයිස්‌ටොසීනයේ විශාල වගුරක්‌ව පැවති බවත්, එහි හිපොපොටේමස්‌ ජීවත් වූ බවත් එම කලාපයෙන් සුලබව හමුවන හිපොපොටේමස්‌ ෆොසිල අනුව එතුමා දක්‌වා ඇත. දත්වල ප්‍රමාණයන් හා එහි රූපවිද්‍යාත්මක ලක්‌ෂණ අනුව ක`ගවේනුන් හෙවත් රයිනෝසිරස්‌ විශේෂ දෙකක්‌ අප රට ජීවත් වූ බව දැරණියගලගේ ෆොසිල අධ්‍යයන ම`ගින් සනාථ වී ඇත. ගවරා පිළිබඳව දීර්ඝ වශයෙන් පර්යේෂණ පැවැත් වූ හෙතෙම පවසනුයේ අදින් වසර 200 ක්‌ පමණ වන තෙක්‌ම උන් අප වනාන්තරවල විසූ බවයි. ගවර හිස්‌කබල් කොටස්‌, හකු, දත් ඇතුළු ශරීරයේ අනෙකුක්‌ කොටස්‌ මැණික්‌ පතල්වලින් හමුවූ අතර ඒ ගවර විශේෂය අප රටට ආවේණික බව එතුමාගේ මතය විය.


එතුමාගේ ප්ලයිස්‌ටොසීන සොයාගැනීම් අතර සිංහයෙකුට අයත් ෆොසිල වූ හක්‌කේ පිහිටි දතක්‌ හමුවීම මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. එවකට දකුණු ආසියානු කලාපයේ සිංහයින් පුළුල්ව වාසය කළ බව දැරණියගලගේ සොයාගැනීම් අනුව සනාථ වේ. වර්තමානයේ ආසියානු සිංහයන් ගුජරාටයේ ගිරි නැමැති වනයට පමණක්‌ සීමා වී ඇත.

දැරණියගල විසින් ප්ලයිස්‌ටොසීනයේ ජීවත් වූ, විද්‍යාත්මකව හෝමෝ සිංහලේයුස්‌ සහ හෝමෝ පිතෙකස්‌ සිංහලේයුස්‌ නමින් වූ මානව විශේෂ දෙකක්‌ පිළිබඳව විස්‌තර කොට ඇත. මීට අදාළ නළල් තල ප්‍රදේශයට අයත් හිස්‌ කබල් කොටසක්‌ සහ උඩු හණුවේ කෘන්තක දතක්‌ එතුමාට හමු වී ඇත. නූතන භෞතික මානව විද්‍යාව තුළ දැරණියගල විසින් කරුණු හෙළිකෙරුණු මේ මානව විශේෂ දෙක වලංගු නොවූවද හෝමොපිතෙකස්‌ සිංහලේයුස්‌ට අයත් කෘන්තක දත නැවත පරීක්‌ෂා කිරීම සුදුසු යෑයි සිතමි. මෙම දත ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර පරිණාමීයව ප්‍රාථමික මානවයෙකුට අයත් යෑයි රූපවිද්‍යාත්මක ලක්‌ෂණ අනුව පැහැදිලි වේ. 

ප්ලයිස්‌ටොසීනයේ ජීවත් වූ එම සත්ත්ව සන්තතිය අනුව, වර්තමාන දේශගුණයට වඩා වෙනස්‌ දේශගුණික තත්ත්වයන් එවකට පැවති බව එතුමාගේ අධ්‍යයන ම`ගින් සනාථ වේ. ග්ලැසියර හා අන්තර් ග්ලැසියර අතර උස්‌ පහත් වූ මුහුදු මට්‌ටමත්, ඒ ඇසුරෙන් වෙරළබඩ තීරයේ රට තුළට වන්නට තැන්පත්ව ඇති බෙලි කටු නිධි පිළිබඳවත් තම ශාස්‌ත්‍රීය ලිපිවල විස්‌තර කොට ඇත. ප්ලයිස්‌ටොසීනයේ මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා රට තුළ තැන්පත් වූ බෙලි කටු නිධි පිළිබඳව එතුමා තම පර්යේෂණ දියත් කළ අතර අකුරළ පිහිටි සමුද්‍ර තැන්පතුව පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදි. ප්ලයිස්‌ටොසීනයට අදාළව එතුමා විසින් අධ්‍යයනය කරන ලද ෆොසිල කොළඹ කෞතුකාගාරයේ ස්‌වාභාවික විද්‍යා අංශයේ මැදිරිවලත්, රත්නපුර කෞතුකාගාරයේත් ප්‍රදර්ශනයට තබා ඇත. එතුමා ජීවත්ව සිටි සමයේදී තම පර්යේෂණවලට භාජනය කළ සිංහ දත ඇතුළු තවත් සුවිශේෂී ෆොසිල එකතුවක්‌ ලන්ඩනයේ පිහිටි ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කොට ඇති අතර එම එකතුව 1996 දී මා විසින් පර්යේෂණයට භාජනය කෙරිණි.

පී.ඊ.පී. දැරණියගල මහතාගේ සත්ත්වවිද්‍යාත්මක පර්යේෂණ ජීවිතය අතිශයින් වැදගත් වේ. සමුද්‍රජීවී විද්‍යාඥයෙක්‌ ලෙස කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරියට බැ`දුණු එතුමාගේ විශේෂ අවධානයක්‌ සමුද්‍ර හා මිරිදිය මසුන් කෙරෙහි යොමු විය. ගැඹුරු මුහුදේ වසන පොතු මාළුවා, තෙත් කලාපයේ වැසි වනාන්තර ආශ්‍රිතව දිය කඩිතිවල වසන මල් පුළුට්‌ටා, හල්මල් දණ්‌ඩියා, ජොන්ක්‌ලාස්‌ ඇහිරාවා ආදී නව විශේෂ නම් කිරීමත්, තවත් මත්ස්‍ය විශේෂවල උප විශේෂ තත්ත්වයන් පිළිබඳවද ඔහුගේ අවධානය යොමු විය. 

පෘෂ්ටවංශී සත්ත්ව කාණ්‌ඩ අතර එතුමා අඩුවෙන්ම පර්යේෂණවල නිරත වූයේ උභයජීවීන් පිළිබඳවය. හෙතෙම තෙත් සහ බුරුල් පසේ ජීවත්වන පාද රහිත උභයජීවී කාණ්‌ඩයක්‌ වන හිරිදණ්‌ඩන් පිළිබඳවත්, පාද කීපයක්‌ සහිත විකෘති තත්වයෙන් වූ උභයජීවීන් පිළිබඳවත් ශාස්‌ත්‍රීය ලිපි කිහිපයක්‌ පමණක්‌ ප්‍රකාශයට පත්කොට ඇත. දැරණියගල උර`ගයින් පිළිබඳව පර්යේෂණ සඳහා විශේෂ කැපවීමක්‌ කළ බව පැහැදිලිය. මේ අතරින් ලංකාවේ ජීවත් වන සර්පයින්ගේ උප විශේෂ තත්ත්වයන් සහ එම විශේෂ දකුණු ඉන්දියානු සතුන් සම`ග දක්‌වන සබඳතා පිළිබඳවත් පුළුල් ලෙස විමර්ශනය කොට ඇත. 

මේ අතරින් වැලි පොළ`ගා, දාර පිඹුරා, මුදු කරවලා සහ වැලි පිඹුරා ආදී තවත් සර්ප විශේෂ කිහිපයක්‌ එතුමාගේ විශේෂ අවධානයට යොමු විය. මීට අමතරව පොළොව තුළ ජීවත් වන පාංශු සර්ප විශේෂ කිහිපයක්‌ම එතුමා විසින් නව විශේෂ ලෙස නම් කරන ලදී. කටුසු විශේෂ අතර කරමල් බෝදිලියා, කුරු බෝදිලියා සහ අං කටුස්‌සන් ලංකාවේ උර`ග පරපුරේ මෙරට මුල්ම පදිංචිකරුවන් බවට එතුමා විසින් දක්‌වන ලද මත වර්තමාන පර්යේෂණ ප්‍රතිඵල ම`ගින්ද සනාථ වීම තුළින් දැරණියගලගේ සත්ත්ව විද්‍යා දැනුම මොනවට පැහැදිලි වේ. දැරණියගලගේ විශේෂ අවධානයට ලක්‌ වූ උර`ග කාණ්‌ඩ දෙකකි, කිඹුලන් සහ මිරිදිය ඉදිබුවන්. කිඹුලන්ගේ කැදලි තැනීම, බිත්තරවල විකසනය සහ හැසිරීම් රටා පිළිබඳවත් සමුද්‍ර කැස්‌බෑවුන්ගේ ඉහළ සහ පහළ ඵලකවල රූපවිද්‍යාත්මක ලක්‌ෂණ පිළිබඳවත් මැනවින් විස්‌තර කොට ඇත. වියළි කලාපයේ ගස්‌ කඳන් අතර ජීවත් වන දිවාසැරි හූනෙකු වන පොඩි හූනා ඇතුළු සිකනළුන්, කබරගොයින් හා තලගොයින් පිළිබඳවද තම අධ්‍යයනය පුළුල්ව සිදු කරන ලදී. 

පී.ඊ.පී. දැරණියගල ඉතිහාසය, භූ විද්‍යාව, පුරාවිද්‍යාව, පාෂාණිභූත විද්‍යාව, ඛණිජ පිළිබඳ විද්‍යාව, ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව ඇතුළු ක්‌ෂේත්‍ර ගණනාවකම ශාස්‌ත්‍රීය ලිපි පළ කොට ඇති, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උගතෙකි. ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි බොහොමයක්‌ පළ වූයේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්aතුවේ 'ස්‌පෝලියා සිලැනිකා' ශාස්‌ත්‍රීය සංග්‍රහයේය. ඊට අමතරව රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රකාශයේද පළවිය. ලොව අග්‍රගන්‍ය ශාස්‌ත්‍රීය ප්‍රකාශයක්‌ වන භ්එමරු ස`ගරාවට තම ජීවිත කාලය තුළ ලිපි හතරක්‌ සපයමින් එතුමා තමා සතු බුද්ධියේ මහිම ලොවට කියා පා ඇත. වසර 1947 දී එතුමා අප්‍රිකාවේ පැවැත්වූ ගවේශනය සමස්‌ත ශ්‍රී ලංකාවටම ගෞරවයක්‌ ගෙන දුනි. ස්‌පෝලියා සෙලනිකා 25 වන වෙළුමට ඒ පිළිබඳව දීර්ඝ ලිපියක්‌ සපයමින් එහිදී අනාවරණය කරගත් නව සොයාගැනීම් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ඒ ගවේශනයේදී නව හිපොපොටේමස්‌ විශේෂ, මානව විශේෂ, හස්‌තීන්, ඉදිබුවන්, කිඹුලන් ඇතුළු මානව විද්‍යාත්මක තොරතුරු බොහොමයක්‌ අනාවරණය කර ගනිමින් ලොව රටවල් කිහිපයකින් ඒ කණ්‌ඩායම නියෝජනය කළ විද්වතුන් අතර එතුමා ප්‍රමුඛත්වයක්‌ හිමිකර ගත්තේය. 1945 දී එතුමාගේ දිවියේ විශේෂිත සොයාගැනීම් අතර අපගේ ආදීම මුතුන්මිත්තා හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා නොඑසේ නම් 'බලංගොඩ මානවයා' පිළිබඳව අනාවරණය කිරීම අප රට ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ විය. එතුමා එම මානවයා නව උප විශේෂයක්‌ ලෙස නම් කළේය. එනම් 'හෝමෝ සේපියන් බලංගොඩෙන්සිස්‌' ලෙසය. මෙහි ප්‍රථම නිදර්ශකය එතුමා විසින් අනාවරණය කරන ලද්දේ රාවණා ඇල්ල ගුහාව තුළින්ය. 

ඉන් අනතුරුව 1958 දී ස්‌පෝලියා සෙලනිකා හි 28 වන වෙළුමට දිගු ශාස්‌ත්‍රීය ලිපියක්‌ ලියමින් බලංගොඩට ආසන්න වළවේ ගං ඉවුරේ බෙල්ලන්බැ`දි පැලැස්‌සෙන් බලංගොඩ මානවයාට අයත් තවත් මානව අවශේෂ සොයා ගන්නා ලදී. බලංගොඩ මානව අවශේෂ සමග එම මානවයා පරිහරණය කළ ශිලා මෙවලම්, සත්ත්ව අස්‌ජි මෙවලම්, දඩයමින් ඉතිරි අවශේෂ වූ සත්ත්ව අස්‌ජි සහ දත් ආදිය අනාවරණය කර ගැනීමට එතුමා සමත් විය. මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව ස්‌විට්‌සර්ලන්ත ජාතික සරසින් සහ සරසින් යන දෙමස්‌සිනන්ට අමතරව සවිස්‌තරාත්මක විස්‌තරයක්‌ සැපයීමේ ගෞරවය පී.ඊ.පී. දැරණියගලට හිමි වේ. 

සිය හසල දැනුම සහ ශාස්‌ත්‍රීය ප්‍රකාශයන් නිසා ලොව බොහෝ ආයතනවලට එතුමා සම්බන්ධ කරගැනිණි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ධුරය හොබවමින් රාජකීය ආසියාතික සංගමයේ සභාපති ධුරයේද, ඊට අමතරව ඇමෙරිකානු පෘෂ්ඨවංශී පාෂාණීභූත සංගමයේද, ඉන්දියානු සිස්‌ටමැටික්‌ සූලොජී සංගමයේද, ඉන්දියානු පැසිපික්‌ ධීවර කවුන්සිලයේද, ඉන්දියානු සත්ත්ව විද්‍යා ඇකඩමියේද, මිනිසා පිළිබඳ අධ්‍යයනයේ ඇමෙරිකානු පදනමේද, ලෝක ආහාර හා සෞඛ්‍ය සංගමයේද, ජාත්‍යන්තර ප්‍රාග් ඉතිහාසය පිsළිබඳ කොන්ග්‍රසයේද, ප්‍රාග් ඓතිහාසික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංගමයේද, යුනෙස්‌කෝ සංවිධානයේද ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක නිල තල ඉසිලීය. එතුමා වෙතින් විද්‍යා ක්‌ෂේත්‍රයට ඉටු වූ සේවයට ගෞරවයක්‌ වශයෙන් 1960 දී විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය උපාධියක්‌ පීරිනැමිණි. 

එතුමාගේ පුතුන් සතර දෙනා අතරින් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල පියාගේ අඩිපාරේ යමින් මෙරට ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට අති විශාල සේවයක්‌ ඉටු කළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල වගකීම් ඉසිලු හෙතෙම 90 දශකයේදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් තනතුරද ඉන් අනතුරුව එහි උපදේශක තනතුරද හෙබවීය. පසුගිය වසර 50 තුළ සමස්‌ත ශ්‍රී ලංකාව තුළම සිදුකළ ගවේශන හා කැණීම් අතර 'ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය' යන මැයෙන් ආචාර්ය නිබන්ධනය නිම කළ ආචාර්ය සිරාන් දැරණියගල 1992 දී එය ග්‍රන්ථයක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එම ග්‍රන්ථය ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව සමස්‌ත දකුණු ආසියාවේම ප්‍රාග් ඉතිහාසය පිළිබඳව වූ මව් පොත ලෙස සැළකිය හැකිය. තම පියා කැණීම් කළ හා ගවේශනය කළ ස්‌ථානයන් නැවතත් පර්යේෂණයට භාජනය කරමින් නූතන කාලනීර්ණ ක්‍රමවේදයන්ට අනුව කාලනීර්ණය කරමින් නව මත සහ අදහස්‌ ඉදිරිපත් කළේය. ආචාර්ය සිරාන් දැරණියගලගේ සොයාගැනීම් අතරට බුන්දල වැලිකදු අතරින් හමු වූ වසර 1,25,000 ක්‌ පැරණි ශිලා මෙවලම් සහ වසර 37,000 ක්‌ පැරණි ස්‌ථරායනයක්‌ ඇති කුරුවිට බටදොඹලෙන විශේෂයෙන් සඳහන් කළ හැකිය. ආචාර්ය සිරාන් දැරණියගල කුඩා කළ සිටම ඔහුගේ පියා වූ පී.ඊ.පී. දැරණියගල සම`ග ගවේශන සහ කැණීම්වලට සහභාගී විය. ඒ තුළින් හෙතෙම පියාගේ ආදර්ශය සහ ම`ග පෙන්වීම නොඅඩුව ලද බවට සැකයක්‌ නැත.

පී.ඊ.පී. දැරණියගල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනවල නව මාවතක්‌ විවෘත කළ අතර ආචාර්ය සිරාන් දැරණයගල එහි බොහෝ දුර ගමන් ගත්තේය. සිරාන් දැරණියගල මහතා තම සේවය හා අත්දැකීම් නොඅඩුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දෙමින් ප්‍රාග් ඓතිහාසික හා ප්‍රොටෝ ඓතිහාසික යන යුගයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළේය. ඔහු ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‌ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය ඩබ්. විඡේපාල සහ වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ආචාර්ය නිමල් පෙරේරා සමගින් අනුරාධපුර ඇතුල් නුවර හා වසර 40,000ක්‌ පැරණි බුලත්සිංහල පාහියන් ලෙන, දොරවක ලෙන, කෑගල්ල අළු ලෙන, පල්ලෙමලල, මිණීඇතිලිය ආදී ඉතා සංකීර්ණ වූ කැණීම් ගණනාවක්‌ම මෙහෙයවන ලදී. මීට අමතරව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අදිකාරි සීගිරිය අසල පොතාන, අලිගල සහ අලවල පොත් ගුල් ලෙන යන ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට දායක විය. සමකයට ආසන්න රටක්‌ ලෙස ජීවවිවිධත්වයෙන් ඉතා ඉහළ රටක්‌ වූ ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ගුහා කැණීම්ද ඉතා සංකීර්ණ වේ. ඉතා තුනී සංස්‌කෘතික ස්‌තර සහිත සංකීර්ණ ගුහා කැණීම්, කැණීම සහ නිවැරදිව දත්ත පෙළ ගැසීම පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තුළ අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියකි. පී.ඊ.පී. දැරණියගල විසින් නව මාවතකට යොමු කරන ලද ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ තව දුරටත් විද්‍යාත්මක ක්‍රමවේද මත සංයමයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳව අප ඔවුනට ස්‌තූතිවන්ත විය යුතුය. 

පී.ඊ.පී. දැරණියගල සහ සිරාන් දැරණියගල ඇතුළු ඉහත ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයෝ ප්‍රාග් ඓතිහාසික ගුහා සහ එළිමහන් වාසස්‌ථාන සබැ`දිව නිවැරදිව සංස්‌කෘතික ස්‌ථර හ`දුනාගනිමින් කාලනීර්ණයන් සහ ඒ තුළින් ලද මානව අවශේෂ, සත්ත්ව අවශේෂ, ශිලා මෙවලම්, අස්‌ජි මෙවලම්, ප්‍රාග් මානව පළඳනා ආදි ද්‍රව්‍යයන් අර්ථකථනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය නැවත ගොඩනැගීමට සුවිසල්ව දායක වූහ. ඔවුන් විද්‍යාත්මක පසුබිමක හිඳ එම විෂයට ගරු කරමින් සංයමයකින් එම කර්තව්‍ය තවදුරටත් ඉටු කරමින් සිටිති. පුරාවිද්‍යාඥයා තමා හදාරනු ලබන විෂය තුළ කැණීමෙන් මතුකර ගන්නා වස්‌තූන් සඳහා කාලනීර්ණයන් අතැතිව සාධාරණ අර්ථකථනයන් දිය යුතුය. එසේ නොවුවහොත් හෙතෙම දවල් සිහින දකිමින්, නොමැති දත්ත මවමින්, විකෘති ඉතිහාසයක්‌ ජනතාව ඉදිරියේ තබනු ඇත. දැරණියගල පිය පුතු දෙපළද, ඉහත කී සෙසු ප්‍රාග් ඓතිහාසික විද්වතුන්ද ඉදිරිපත් කරනු ලබන සාධක ජාත්‍යන්තරය පිළිගන්නා විනිවිදභාවයකින් යුක්‌ත ඒවා වේ. පී.ඊ.පී. දැරණියගල තරුණ පුරාවිද්‍යාඥයන්ට දෙන ආදර්ශය වනුයේ හික්‌මීමෙන් සහ සාධාරණ ලෙස විෂයානුබද්ධ විය යුතු බව නොවේද.


Sunday, June 7, 2015

කේලම් සහ පෙරීම.....




      සොක්‍රටීස්ට කේලම් කීම                                                                 

දිනක් සොක්‍රටීස් ට මුන ගැසුණු අසල්වැසියෙක් ඔහුට කිව්වලු

 " ඔබ දන්නවද මං ඔබගේ හොඳම මිතුරා ගැන දැනගත් දේ .. "


 , මෙහෙම කියල ඔහු ලොකු කතාවක් ආරම්භ කරන්න සැරසුනාලු.


" හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් " සොක්‍රටීස් ඉක්මනින් කිව්ව ලු.




"පෙරනයන් තුනක් .. " අසල්වැසියා ටිකක් අප්‍රසන්නව පැවසුවාලු.


සොක්‍රටීස් " ඔව්. පළමු පෙරනය, සත්‍යක් ද ? , ඔබ මගේ මිතුරා ගැන ඔය පැවසීමට සූදානම් වන දෙය සත්‍යක් ම බව ඔබ හොඳින්ම දන්නවාද ? "

"ම්.. ම්.., නෑ, එය මා හට යමෙකු කී දෙයක් පමණයි." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

" හොඳයි , දෙවන පෙරනය, ඔබ ඔය මගේ මිතුරා ගැන කියන්න හදන දෙය යහපත් දෙයක් ද ? " සොක්‍රටීස් ඇසුවාලු.

"ම්.. ම්.., නෑ, එය නම් ඔහු ගැන යහපත් පුවතක් නෙමෙයි.." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් පැවසුවාලු " හ්ම්ම්.. ඔබට තවත් එක අවස්ථාවක් තිබෙනව. අවසාන පෙරනය, ඔබ මාගේ මිතුරා ගැන පවසන දෙයින් මා හට යම් ප්‍රයෝජනයක් සිද්ධ වේද ? "

"ම්.. ම්.., නෑ, එය නිකම්ම ඔබගේ මිතුරා ගැන ආරංචියක් පමණයි..." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් කිව්වලු. "හොඳයි, ඔබ ඔය පවසන්නට යන දෙය සත්‍යක් ද නොවේ, යහපත් දෙයක් ද නොවේ, මා හට ද කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. ඉතින් මම ඔබේ කතාව අසන්නේ ඇයි. ?? "

උපුටා ගන්නා ලද්දේ පල්ලියෙ කතා බ්ලොග් අඩවියෙනි....