Thursday, December 10, 2015

ආදරණීය මානව හිතවාදියා.....

ඡායාරූපය - පීටර් ජෙරම්
අයුක්තියෙන් අශිෂ්ඨත්වයෙන් පරගැතිබවින් මෙරට සිහසුන කිළිටි වූ අසුවේ දශකයේදී එකී පාලනයට එරෙහිව නැගී සිටි මානව දයාවෙ ප්‍රතිමූර්තිය බඳු මිනිසුන් දහස් ගණනින් මරා මහමග හළු කර දැමීය. එකී ධවල භීෂණයටද, ඉන් පසු මෙරට රජවූ භීම සමයටද සමස්ථ සමාජයම ත්‍රාශයෙන් ඇලලී ගියේය. නිහඬතාවය රජකළ යුගයක එය දෙපඵැ කරමින් ඝාතක පාලකයන්ට අභියෝග කරමින් ජූලියස් පූචික් පරපුරේ මිනිසෙකු අභීතව නැගී සිටියේය. පන්හිඳ කගපතක් බවට පත්කරමින් දූෂණයෙන් භීෂණයෙන් පිරි අයුක්තිසහගත පාලනයකට එරෙහිව හෙණ පහරක් බඳු අකුරැ වලින් පත්තර පිටු පිරී ගියේය. ඔහු සුනිල් මාධව ප්‍රේමතිලක නම් සොඳුරැ මිනිසාය.

ජනතාව වෙනුවෙන් හඬ නැගූ වරදට බොහෝ පත්තර කන්තෝරැ වලින් හිස් දෑතින් එළියට බැසීමට සිදුවූ වාර අනන්තය. ජනතාව ගේ අයිතීන් වෙනුවෙන් අකුරැ වලින් සටන් කිරීමට කැට හොල්ලා ජනතාව ගේ ආධාරයෙන් පත්තර කල මිනිසාද ඔහුය. අසත්‍යයෙන් වැසීගිය ලෝක ඉතිහාසය පිළිබඳව සැබෑ වූ යථාර්ථයෙන් මෙරට ජනතාවගේ බුද්ධියට කථාකල මිනිසාද ඔබය. 



සමාජයේ උන්නතිය උදෙසා ජීවිතය දියකළ ඔහු අද ඔත්පළව හුදකලා දිවියක් ගෙවයි. සහෘදකම්. මිනිසත්කම් අගය කරන මිනිසුන්ට සැබෑ මිනිසුන් අතහැර දමා ඉදිරියට යා නොහැක. සුනිල් අයියා අගයන, ඔහුගේ මග ගත් මිනිසුන්ට මේ අවස්ථාව උදාවෙන්නේ ඔහු වෙනුවෙන් තමන්ට හැකි දායකත්වයක් ලබා දීමටය.



අපකළ ඉල්ලීමකට අනුව සෙලාන් බැංකුවේ බත්තරමුල්ල ශාඛාවේ ගිණුමක් ආරම්භ කළේය.


ගිණුම් අංකය :MR SM Premathilake/  Mrs MP Premathilake
1010 34498105-101
Battramulla Branch

දුරකථන අංකය
නිවස : 0112789536
සුනිල් අය්යා: 071 - 1337557
මනෝරා අක්කා : 071 - 8648866

ලිපිනය
සුනිල් මාධව ප්‍රේමතිලක
නො: 26, 
රිචර්ඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණය,
කොස්වත්ත,
බත්තරමුල්ල.

සටහන - චූලක බණ්ඩාරවත්ත

ඡායාරූපය - පීටර් ජෙරම්


සත්‍යවාදියෙකුගේ දිනපොතින් ........


1986 අගෝස්තු 25


ප්‍රේමය ඉතාමත් සුන්දරයැයි මම සිතමි.එය එසේවූයේ කිසිවෙකුත් මට ප්‍රේමකරන නිසා නොව මා හැම කෙනෙකුටම ප්‍රේමකරන නිසායැයි සිතේ.ආමර් වීදිය හන්දියේ ආමර් බාර්එක අසල බස් නැවතුමේදී අද හවස හමුවූ තරුණියට මම ප්‍රේමකරමි.ඇය මට ප්‍රේමකරනු ඇතැයි මම සිතමි.අප අතරවූ දෙබස මට හොඳට මතකය.



''මහත්තයා බාර් එකේ ඉඳල නේද ආවේ ? වැඩිය බොන්න එපා මහත්තයා.


ඔයා කවුද ? 


අනං මනං කථා වැඩක් නැහැනේ මහත්තයා,මට රු.25.00 ක් දෙන්න.මම මහත්තයා කියන ඕනැම තැනකට එන්නම්''


අවුරුදු 16 කට වඩා වයස නැති ඒ සහෝදරියගේ කතාවෙන් මම පුදුමයට පත්වීමි.
ඇය ඉතා සුන්දරය.ඇය ගණිකාවක් යැයි කිසිම අයුරකින් සිතිය නොහැකිය.මම කිසිවක් කතානොකර ඇයදෙස බලා සිටියෙමි.



''ඇයි මහත්තයෝ බලන්නේ ? මම හොඳ නැද්ද ? '' 



මා පිළිතුරක් දුන්නේ නැත.ගෙදර ගෙනියන්න පොලියට ගත් සල්ලිවලින් රුපියල් විසිපහක් ඇද ඇයට දුන්නෙමි.ඇයද කිසිවක් කතාකළේ නැත.ඇගේ දෙනෙතේ කඳුළු පිරී ඇතිබව මම දුටුවෙමි.
දිවයිනෙන් වරින්වර අයින්වෙන්නට සිදුවුවත් ආමර් වීදියේදී මා ලැබූ අත්දැකීම්වල අපූරු සුන්දරත්වයක් තිබිණ.ආමර් වීදිය මගේ ජීවිතයේ කොටසක් බවට පත්වූයේ ඒ සුන්දරත්වය මා වින්ද නිසාය.ආමර් බාර් එකට ගොස් හුදකලාවේ අඩියක් ගසද්දී බොහෝ කලකට පෙර ලැබූ අත්දැකීම් මෙසේය.

- ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක -


Friday, December 4, 2015

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "



"THE STONING OF SORAYA M"

ඔබත් අනිවාර්යෙන්ම මේ සිනමා කෘතිය නරඹන්න 

මේ මිලේච්ච සංස්කෘතියට එරෙහිව ඔබේ පළමු ගල ගසන්න ..!!!

Dont act like the hypocrite 

who thinks he can conceal his wiles 

while loudly quoting the Koran


වසාලන්නට තම කපටිකම්

කුරානය උපුටා දක්වමින්

කුහකයෙකු සේ

රඟනු කුමටද


14 වන සියවසේ ඉරානයේ විසු හෆේස් නම් කවියෙකුගේ පදමාලාවකින් මේ සිනමා කෘතිය ආරම්භ වේ. මේ උදෘතය තුලම මේ අනුවේදනීය කතාවම රැඳී ඇත. "සිරගතව සිටින අප සියල්ලම වැරදි නම් ඉන් පිටත සිටින සියල්ලන්ම  නිවැරදිද " මේ මැගසින් බන්ධනාගාරයේ නාඳුනන සිරකරුවෙකු ලිවූ වදනකි. මේ සිනමා සිත්තම තුලද එවැනිම මහා ගැඹුරක් ඇති දෙබසක් මා දුටුවෙමි. මේ කතාංගයේ ගල් ගසා මරාදමන සොරායා ගේ නැන්දනියවන සහ්රා මෙසේ අසන්නේය...

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "




මිත්‍යාදෘෂ්ඨික ජනයා තම ඇදහීම් 
තුලින් මනුෂ්‍යත්වය කීතු කීතු වලට
 ඉරා වනසා දමන අයුරු
 "THE STONING OF SORAYA M" 
චිත්‍රපටය අධ්‍යක්ෂ Cyrus 
Nowrasteh සමත් වී ඇත.





එමෙන්ම පුරුෂාධිපත්‍යට යටත් වූ  පසුගාමී සමාජ වටපිටාවක   කාන්තාවන් ගේ ඉරණම ඉතා  අසාධාරණ ලෙස විසඳෙන අයුරු   සිනමාවට නගා ඇත්තේ සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙනය. 
ප්‍රංශ ඉරාන සාහිත්‍යවෙදියෙකු වූ Freidoune Sahabjam විසින් රචිත  THE STONING OF SORAYA නවකතාව ලෝකයේ අලෙවි වාර්තා  තැබූ පොතකි. එම සිදුවීම් මාලාව අලලා ඉරාන සිනමාව ලොවට දායාද කල මහා ආදර්ශමත් මෙන්ම හද සසලවන සිනමා නිර්මාණයකි මේ.

(ආ)ත්මය( ග)ලවා ගැනීමේ (ම)ග වූ ආගම දඩමීමා කරමින් තමන්ගේ පටු  පවිටු චේතනා ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මෙවන් නීච සිදුවීම් ලොව පුරා බොහෝ රටවල සිදුවේ. අද දිනයේ අයෙකුට මවක් සහෝදරියක්  පෙම්වතියක් මිතුරියක් වූ අපේම ගැහැනියක් සෞදී අරාබියේ මොලේ නැති කාලකන්නින්ගේ ශාරියා නම් ගල් යුගයේ නීතියට යටත් කරමින්  මෙලෙසම මරා දමනු ඇත.






උපුටා ලන්නා ලද්දේ චූලක බණ්ඩාරවත්ත සොයුරාගෙ 'රතු වැස්සෙනි'.......



චිතුපටය නැරඹීමට මේ ලින්ක් ඔස්සේ පිවිසෙන්න...... 





ඉතිහාසයේ සැබෑ වීරවරයන්



ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් ඉස්‌මතු වන හුදු දැවැන්ත දැන්වීම් පුවරු වීරයන්ගේ මතකය ඔවුන් බලයෙන් පහව යැමෙන් පසුව ගිලිහී යන නමුත් සැබෑ යුගපුරුෂයන් ගේ මතකය, නිලඹර දිදුලන තාරකාවන් සේ යුගයෙන් යුගයට හා පරම්පරාවෙන් පරම්පරාවට ආලෝකය ලබාදෙමින් හා දිශානතිය සනිටුහන් කරමින් දීර්ඝ කාලීනව පවතී. 

මේ එවන් මිනිසෙකු ගැන විවරණයයි ....
 
ජුලියස් පුචික්  

ජුලියස් පුචික් යනු ලොව මෙතෙක් බිහි වූ අග්‍රගන්‍ය පුවත්පත් කලාවේදියෙක් මෙන්ම නොබියව පැසිසිට්වාදයට එරෙහිව සිය පන්හිඳ එසවූ මාකස්වාදී දේශපාලන ක්‍රියාකරුවෙකි. 1903 පෙබරවාරී 23 වෙනි දින චෙකොස්ලෝවැකියාවේ දිළිඳු කම්කරු පවුලක ඔහු උපත ලැබීය.

ඔහුගේ ලේඛන හැකියාවන් ඔප් නැංවුයේ දොළොස් හැවිරිදි වියේදීය. එවකට චෙකොස්ලෝවැකියාවේ පැවැති කොමියුනිස්ට්වාදී " වහලා " නම් පුවත් පතට ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කළේය. වසර විස්ස වන විට ඔහුගේ ජීවිතය පුර්ණකාලීන දේශපාලනයට යොමු විය. චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ දීප්තිමත් ක්‍රියාකරුවෙකු ලෙස පක්ෂය තුළ ප්‍රසාදයට ලක් විය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ප්‍රාග් විශ්වවිද්‍යාලයට බැඳෙමින් ජනමාධ්‍යවේදී උපාධිය හිමි කර ගත්තේය. ඉන් පසුව ජනතාව අතර ඉමහත් ජනප්‍රියට පත් වූ සඟරා කිහිපයකත් , Rudé právo ("Red Law") නම් සමාජවාදී පුවත්පතේ කතෘ වරයා ලෙසත් කටයුතු කළේය.

පක්ෂයේ තවත් දේශපාලන ක්‍රියාකාරිනියක් වූ ගුස්ටා පුචිකොවා සමග ජුලියස් පුචික් 1938 දී විවාහ වීය. එම වසර ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසරද විය. එවකට පැවැති ධනේශ්වර පාලනය ඔහුගේ පක්ෂය වූ චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය තහනම් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස රහසිගත දේශපාලනයට ඔහු ඇතුළු පක්ෂ නායකත්වය තල්ලු කරනු ලැබීය.

1939 නාසි ජර්මානුවන් චෙකොස්ලෝවකියානු අගනුවර ආක්‍රමණය කිරීමත් සමගම පළමුවෙන්ම දඩයමට ලක් වුයේ කොමියුනිස්ට්වාදීන්ය. නාසි පොලිසිය වූ ගෙස්ටාපෝ ඒකකයේ ප්‍රධානතම ඉලක්කය වුයේ කොමියුනිස්ට්වරුන්ය. නාසි ආක්‍රමණයට එරෙහිව ඔහු දිනෙන් දින ජනතාව දැනුවත් කරමින් සිය අවිය බඳු පන්හිඳ බිම නොතැබුවේය. තහනම් දේශපාලනය තුළද Rudé právo ("Red Law") පුවත්පත මුද්‍රණය කිරීම නොකඩවා කරගෙන ගිය ජුලියස් , පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් විය. නාසි ජර්මානුවන්ගේ අමානුශිකත්වයට එරෙහිව ජනතාවගේ පරමාර්ථ දිනවීමට දිවි පරදුවට තබමින් ඔහුගේ ලේඛන කටයුතු කරගෙන ගියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු අව්‍යාජ කොමියුනිස්ට්වාදියෙකු විය.

පක්ෂයේ රහසිගත මුද්‍රණාලය තුළ දී 1942 අප්‍රේල් 24 දින ඔහු ඇතුළු තවත් හය දෙනෙකු නාසි ගෙස්ටාපෝ පොලිසියට හසුවිය. අනතුරුව ඔහු Pankrác සිපිරිගෙය තුල සිරකළේය. එහිදී මිනිසෙකුට විඳිය නොහැකි දරුණු වධ හිංසාවලට ඔහු ලක් කළේය. එහෙත් විප්ලවවාදී සදාචාරය රකිමින් තමාගේ දේශපාලන ව්‍යාපාරයත් එහි සගයිනුත් ඔහු ආරක්ෂා කළේය. වධකාගාරය තුළදීද ඔහු ලිවීම අත් නොහළේය. Notes from the Gallows හෙවත් " පෝරකයේ සටහන් " නම් සුප්‍රකට ග්‍රන්ථයට පාදක වුයේ ඔහු වධකාගාරය තුළ මරණය පෙනී පෙනී ලිවූ සටහන්ය. ජුලියස් එම රචනා සටහන් කළේ සිගරට් පෙට්ටිෙවල ඇති කුඩා තීරු මතය. පසු කාලීනව ලුයිජි නෝනෝ විසින් Notes from the Gallows නමින් ඔහුගේ සියලු සටහන් ලෝකයේ යුක්තිගරුක මිනිසුන්ගේ , සත්‍ය ගවේෂණය කරන පුවත්පත් කලාවේදීන්ගේ පරමාදර්ශය ලෙස අගනා කෘතියක් නිර්මාණය කළේය.

1943 දී ඔහු චෙකොස්ලෝවැකියාවේ සිට ජර්මනියේ බර්ලින් නගරයට රැගෙන ආවේය. ඔහුට එල්ලකළ ප්‍රධානතම චෝදනාව වුයේ නාසි ජර්මානු පාලනයට එරෙහි පුවත් ලිවීම හා රහසිගත කොමියුනිස්ට් ව්‍යාපාරයක ක්‍රියාකරුවෙකු වීමය. අධිකරණය ඉදිරියේදී නිර්භීතව නාසි පාලනය විවේචනය කළ ජුලියස් පුචික් , පුවත්පත් කලාවේදීන් යනු පාලකයන්ගේ සට්ටම්බියන් නොවන බව ලොවට පෙන්වීය. මරණය තෙක්ම ජනතාවගේ යහපත් හෙට දිනක් වෙනුවෙන් පෙනීසිටි ඔහු මෙන්ම සිය දේශපාලන සගයා වූ ජරස්ලෝව් ක්ලේකාන් සමග 1943 සැප්තැම්බර් 8 වන දින එල්ලා මරාදැමීය.

නාසි ජර්මානුවන්ගෙන් නිදහස් වූ චෙකොස්ලෝවකියාව පුර්ණ සමාජවාදී රාජ්‍යක් බවට පත් විය. ඉන් අනතුරුව ජුලියස් පුචික් එරට ජනතා වීරයෙක් බවට පත් විය. එරට පාලනය හෙබවූ කොමියුනිස්ට් පක්ෂයේ සංකේතය බවට ජුලියස් පුචික් පත් විය.

උපුටා ගන්නා ලද්දේ - චූලක බණ්ඩාරවත්ත සොයුරාගෙ රතු වැස්සෙන්..........

Wednesday, December 2, 2015

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය...



වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය නව මගකට යොමුකරමින් කුඩා දරුවෙකු මෙලොවට ජනිත විය. ගාලුස්‌ සීසර් ට හා අවුරේලියා යුවලට දාව උපත ලද ඔහු ජුලියස් සීසර් නම් විය. උපතේදී තම මවගේ උදරය කපා මෙලොවට බිහිකිරීමට සිදුවීමෙන් අනතුරුව වර්තමානය තෙක් එය නම් කර ඇත්තේද සීසේරියන් සැත්කම ලෙසය. ජුලියස් සීසර් ක්‍රිස්‌තු පූර්ව 100 වැනි වර්ෂයේ රෝමයේ, සුදුර නමැති නගරයේ උපත ලැබූ බවට අනුමාණ කෙරේ.

අද මෙන්ම එදාද බොහෝ පිරිසකගේ ජීවනෝපාය වුයේ දේශපාලනයයි. සීස්ර්ටද තම දෙමාපියන්ගෙන් ලැබුණු වත්කමක් නොවූ හෙයින් 16 හැවිරිදි වියේදීම රෝම දේශපාලනයට අවතීර්ණ විය. ක්‍රමයෙන් ග්‍රීක වහල් හිමි සමාජය තුළින් ඉස්මතු වූ සීසර්, එම පාලනයේ මුදුනටම ළඟා වුයේ රණශුර වික්‍රමයන්ගේ ප්‍රතිඵලය තුළිනි. ඔහුගේ ජීවිත කාලය තුළදී රෝම ජනතාවගෙන් බොහෝ ගරු බුහුමන් ලැබුණි. ඒ මක් නිසාද යත් පාලකයන්ගේ කුරිරු බව ඉදිරියේ වැසියන් නැගී සිටීමට වඩා වහලුන් වන නිසාය. අවනත වීම හැර කිසිදු විකල්පයක් ආඥාදායක පාලනයක් තුළදී ජනතාවට නොමැත. එයට එරෙහිව නැගී සිටින්නේ නිර්භයත්වයෙන් පිරිපුන් මිනිසුන් පමණි. එවන් මිනිසුන් ඉතිහාසයේ වීරයන් බවට පත් වේ.

පුරාණ රෝමයේ කැලැන්ඩරයට අනුව ඔහු උපත ලැබූ මාසය හැඳින්වූයේ ක්‌වින්ටිලිස්‌ ලෙසය. නමුත් එම මාසය සීසර් ගේ නම ඉතිහාස ගත වීමට ජුලි නමින් වෙනස් විය. හරියටම විදේශ බැංකුවලින් ගිනි පොලියට ණය ගෙන ඒවා ජනතාව මත බදු පිට බදු ගසා තමන්ගේ නම් ගුවන් තොටුපළවල් , වරායවල් , පාසැල් වලට දමනවා සේ එදා ජුලියස් සීසර්ලාද තමන්ගේ නාමය බැබලවීමට බොහෝ දේ කර ඇත. සීසර්ගේ පෙලපත රෝමයේ රදල පංතියට අයත් විය. එහෙත් ඔවුන් හතරවැනි ශතවර්ෂයේදී පොදු ජනතාව සමග ඒකාබද්ධ වූහ. පොදු ජනතාව බොහෝ විට පාලකයන් සමීප කරගනු ලබන්නේ ඔවුන් ඔසවා ගෙන යන දෝලා කරුවන් ලෙසය. පුරාණ රෝමයේද එය එසේම සිදු විය.
ලොව තම අනසකට නතුකොට තිබු සීසර් ගේ අවසානය සිදුවන්නේද බොහෝ ආඥාදායකයන්ට සිදු වූ පොදු සිදුවීම් මාලාවකිනි. ඔහුගේ මරණය පිළිබඳව මහා කවි විලියම්  ශේක්ස්පියර්  ලියූ ජුලියස්‌ සීසර් නාට්‍යයේ මෙසේ ලියා ඇත.

ශාස්‌ත්‍රකරු - සීසර් උතුමාණෙනි,

සීසර් - මා අමතන්නේ කවුද?

ශාස්‌ත්‍ර කාරයා - (සීසර් අමතමින්)


මාර්තු 15 වැනි දා ප්‍රවේශම් වන්න, උතුමාණනි.

බෲටස්‌ - ඔබ මාර්තු 15 වැනිදා ප්‍රවේශම් විය යුතු බව ශ්‍රාස්‌ත්‍රකරුවෙක්‌ පවසයි.

සීසර් - ඔහු මා හමුවට පමුනුවන්න. මට ඔහුගේ මුහුණ බලන්නට සලස්‌වන්න.

කැෂියස්‌ - (මිත්‍රයා, රැස්‌කකා සිටිනා) ජනයා අතරින් ඇවිත් සීසර් දෙස බලන්න. 

සීසර්- ඔබ දැන් මට මොනවද කීවෙ? එය නැවතත් කියන්න.

ශාස්‌ත්‍රකාරයා - මාර්තු 15 වැනිදා ප්‍රවේශම් වන්න උතුමාණනි. 

සීසර් - ඔහු දවල් හීන දකිමින් කාලය නිකරුණේ ගතකරන්නෙක්‌, අපි ඔහු අතහැර දමමු. ඔහු ගියාවේ.

මාර්තු 15 වැනිදා උදා විය ...

(සෙනෙට්‌ සභාව බලා යමින් සිටි සීසර් අතරමගදී හමුවූ ශාස්‌ත්‍රකරු 

අමතමින්)

සීසර් - ඇයි මට ප්‍රවේශම් වෙන්න කියා බොරු කියන්නේ? ඔබ කිවූ 


දිනයත් අද උදාවෙලා.

ශාස්‌ත්‍රකරු - උදාවුණාට තවම දවස ගතවුණේ නැහැ, උතුමාණනි.

සර්විලස්‌ කැස්‌කා විසින් දෙන ලද ඔත්තුවකට අනුව සීසර්ට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව මාක් ඇන්ටනිට දැනගන්නට ලැබුණි. සීසර් ඝාතනය කිරීමට සුදානම් වූ පිරිසට තිබු එකම අභියෝගය වුයේ මාක් ඇන්ටනී සටනට පිවිසේ යයි යන අනියත බියයි.

 ඇන්ටනී සෙනෙට්‌ සභාවට පිවිසීම වැලක්වීම පිණිස හැඩි දැඩි ට්‍රෙබෝනියස්‌ යෙදවීමට තීරණය විය. කුමන්ත්‍රණය දියත් වුයේ සීසර් සෙනට් සභාවට පිවිස අසුන් ගැනීමෙන් පසුවය . රටින් නෙරපා සිටි තම සහෝදරයා වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ටිලුස්‌ සිම්බර් ජුලියස්, සීසර් ගේ ඉදිරියට පැමිණ ආචාර කරමින් දනින් වැටුණි . ටිලුස්‌ට සහය පිණිස සේ සෙසු කුමන්ත්‍රණ කරුවන්ද වහාම ඉදිරියට පැමිණියේය. සිම්බර් වහාම නැගිටිමින් සීසර්ගේ "ටියුනික්‌" කබාය පහතට ඇද දැමීය. එවිටම කෙටි කඩුව ඇඳගත් කැස්‌කා එය සීසර්ගේ ගෙලට එල්ල කරමින් සීසර් යටත් කරගත්තේය. බෘෘටස්‌ ඇතුළු කැස්‌කාගේ පිරිස සීසර්ට පිහි පහර 23 ක් එල්ල කල අතර , රෝමය පමණක් නොව අවට සියලු රටවල් තම ආඥාදායක බලයෙන් යටපත් කර සිටි මිනිසෙකු කිසිවෙකුගේ පිහිටක් නොමැතිව ලේ විලක් මත මැරී වැටුණි.


ඉන් පසුව බෲටස්‌ ඔහුගේ අනුගාමිකයන්ද පිරිවරාගෙන අගනුවර දෙසම ගමන් ආරම්භ කොට "රෝම වැසියෙනි, අපි නැවතත් නිදහස්‌ ජනතාවක්‌" යනුවෙන් ඝෝෂා කරන්නට විය. නිවස තුළට වී එතෙක්‌ කල්ගත කළ ජනතාව මෙම ඝෝෂාව කුමක්‌දැයි විපරම් කළ විට සීසර් ඝාතනය කිරීමේ ප්‍රවෘත්තිය ලැව් ගින්නක්‌ සේ පැතිර ගියේය.

සීසර්ගේ භූමදාන අවස්‌ථාවේදී රැස්‌ව සිටි රෝම ජනතාව අමතා කතා කළ ප්‍රථම කථිකයාගේ කථාව එහි සිටි සියලුම දෙනාගේ හදවත් සසල කිරීමෙහි සමත්විය.

එම කථිකයා නම් සීසර්ගේ සමකාලීන සෙනෙට්‌ මන්ත්‍රීවරයකු වූ මාර්ක්‌ ඇන්ටනිය. මා මෙහි පැමිණියේ සීසර් වළ දැමීමට මිස ඔහු ගැන ප්‍රශංසා කිරීමට නොවේ. එහෙත් අප විසින් කරනු ලබන වැරැදි ක්‍රියා අප සමග වැළලී යන අතර අපගෙන් සිදුවන යහපත් ක්‍රියා සදාකාලිකවම පවතින්නේ යෑයිද එය අප හැම දෙනා විසින්ම ඉතා හොඳින් සිත්හි තබාගත යුතුව ඇතැයිද යනුවෙන් ඔහු දීර්ඝ කතාවක්‌ කළේය. 


මාක්‌ ඇන්ටනීගේ මෙම කතා විලාශය කථිකයන් පුහුණු කිරීමේ විෂය මාලාවේදී දැනටද ප්‍රයෝජනයට ගනු ලැබේ.

සටහන
- චූලක බණ්ඩාරවත්ත - 
(චූලක අයියගෙ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තෙ....)

Friday, July 3, 2015

අසම්මත පෙම්වතිය අතින් මියගිය කවියා



කාලිදාස, සාහිත්‍ය ලොවේ ශ්‍රේෂ්ඨතම කවියෙකි. මේඝදූතය ඔහුගේ කෘතියකි. හෙතෙම, අසම්මත පෙම්වතිය අතින් මිය ගිය මහාකවියා ලෙස ද හඳුන්වයි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එය රසවත් කතාවකි. දිනක් කාලිදාස කවියා තමා ඇයි හොඳයි කම් පැවැත් වූ කාන්තාවකගේ ගෙදරට නිතර යන්ට එන්ට පටන් ගත්තේ ය.

දිනක් එහි රාත්‍රිය ගත කළ ඔහු, ඔහුගේ ඇඳුමක් ඒ ගෙය තුළ අමතක ව ගියේ ය. (මේ සිද්ධිය මෙතර දී වූවක් ද
ැයි අවිනිශ්චිත ය. මෙහි සිටි කුමාරදාස රජු හා කාලිදාස කවියා අතර තිබුණේ මිත්‍රත්වයකි. එය ආත්මීය සොයුරු පෙමක් වැනි ය. ඉහත කී කතගේ ගෙදරට කුමාරදාස රජු ද යාම ඊම සිරිතක් ව තිබුණි.)

මේ නිවසට පැමිණි කුමාරදාස රජු තම මිතුරාවන කාලිදාස මෙහි යනු එනු ඇතැයි සැක කොට ඒ සැකය හා කුතුහලය දුරු කරගනු වස් ඊට සුදුසු උපායක් කල්පනා කළේ ය. කුමාරදාස රජු මිතු කතගේ නිවසේ ඇඳේ සිටින අතර වාරයේ මේ කවි දෙපදය එහි බිත්තියේ ලීවේ ය.

“සිය තඹරා සිය තඹරා සිය සෙවෙ නී
සියස පුරා නිදි නොලබා උන් සෙවෙ නී”

මේ කවි දෙපදයට ගැළපෙන ඉතිරි පද පුරවන්නෙකුට එයට පරිත්‍යාග ලෙස ත්‍යාග හා මුදල් දෙන බව කියා රජතුමා නිවසින් පිටවිය. පසුදා මේ ගෙට පැමිණි කාලිදාස කවියා බිත්තියේ ලියා ඇති කවි දෙපදය දැක කැලඹුණු සිත් ඇති ව ඉතිරි කවි දෙපදය ඊට යටින් ලියා කවිය සම්පූර්ණ කළේ ය.


“වන ඹමරා මල නොතලා රොනට වනී
බල දෙදරා පන ගලවා ගිය සෙ වැනී”


මෙය දුටු වෛශ්‍යා ස්ත්‍රිය තෑගි ලබා ගැනීමේ අරමුණින් රහසිගත ව කාලිදාස කවියා මරා සඟවා තමා ඒ කවි දෙපදය පිරවූ බව රජුට දන්වා තෑගි බෝග ලබා ගත්තේ ය. කරුණු සොයා බැලූ රජුට සත්‍ය හෙළිවිය. තම මිතුරාගේ අවමංගල්‍යය ඉතා උසස් ලෙස සිදු කිරීමට රජු කටයුතු කරවී ය. පසුව කුමාරදාස රජු තම කලණ මිතුරාගේ දැවෙන සොහොනට පැන තම අකලංක මිත්‍රත්වය විදහා පා මිය පරලොව ගිය බව ජනප්‍රවාදවල කියැ වේ. මේ සිද්ධිය අතීතයේ භාරතයේ වූ සති පූජාව හා සමාන ය. එදා රජු මෙහි සිටියා ද නැතහොත් භාරතයේ සිටියා ද යන්න පැහැදිලි සඳහනක් නැත.

කාලිදාස කවියා පිළිබඳ අනෙක් පුවත ද රසවත් ය. කාලිදාස අසරණ පවුලක උපත ලද දුප්පත් ළමයෙකි. කුඩා කල සිට නිසි අධ්‍යාපනයක් නොලත් ඔහු භාෂා ශාස්ත්‍ර පිළිබඳ අල්ප දැනුමක් ඇත්තෙක් විය. තරුණ වියට පත් කාලිදාස දිනක් ගමනක් යන අතරමග දී දැඩි වර්ෂාවකට හසු විය.

ඉන් මිදීම සඳහා ඔහු අසල ඔහු දුටු කෝවිලක පියස්සට ගොඩ විය. එය කාලී කෝවිලකි. වැසි පායන තුරු කල්පනා කරමින් සිටි තරුණ කාලිදාසට කෝවිල තුළින් භක්ති ගී ගායනා හඬ ඇසෙන්නට විය.

එදෙසට කන් යොමු කළ මේ තරුණයාට “අනේ මටත් මෙලෙස ස්ත්‍රොත්‍ර ගායනා කරන්නට හැකිනම් කොපමණ අපූරුදැයි” සිතුණි. “එහෙම වාසනාවක් ලදොත් කාලි දේවිය මහ ඉහළින් ම වර්ණනා කරමි”යි සිත සිතා සිටිය දී කෝවිල තුළින් “කාලිදාස” “කාලිදාස” යැයි අමතනු ඇසුණි. දොර යතුරු කවුළුව තුළින් කෝවිල ඇතුළත බැලූ කාලිදාසට දක්නට ලැබුණේ ඇදහිය නොහැකි අපූරු දර්ශනයකි.

එනම් කාලී දේවිය ඔහු ඉදිරියේ සිටින බව ය. එයින් ඉහ වහා ගිය සතුටට හා පුදුමයට පත් කාලිදාස කාලි දේවියට වැඳ නමස්කාර කොට වරමක් ඉල්ලා සිටියේ ය. ඇය “ඒ කෙබඳු වරමක් දැයි ඇසී ය.” එවිට කාලිදාස “ගායනය පිළිබඳ වූ වරමක්” යැයි කීය. කාලී ක්ෂණයක් ඒ වරම ඔහුට දුන්නා ය. අනතුරුව කවි වරම් ලද කාලිදාස කාලී දේවියගේ ගුණ කවියෙන්ම වර්ණනා කරන්නට විය.

සමුද්‍රඝෝෂ, අනුෂට්‍රෂ්, මාලනී, ශාර්දූල, චික්‍රිඩිතා දි වැනි විවිධ වෘත්තයන් යටතේ කරන ලද භක්ති ගායනා අවසන් වූ පසු ඔහු අභියස කාලී දේවිය පෙනී සිටිමින් මෙසේ කීය.

“ඔබ ඉතාමත් හරබර ලෙස මිහිරි ගායනයෙන් මාගේ ගුණ වැනූවෙහිය. ඒ ගැන මා සතුටු වෙමි. නමුත් ඔබ මා වර්ණනා කළේ මිනිස් ලඳක් ලෙසිනි. එම නිසා ඔබට කවි වරම දුන්නා සේම ඔබට ශාපයක් ද කරන්නට සිදු වී ඇත. එනිසා ඔබගේ මරණය කෙදිනක හෝ ගැහැනියක අතින් සිදුවේවා” යන්න ශාපයයි.

පසුව, තමාගේ දිවෙන් රුහිරු උරා බී මීට සමාව දෙන ලෙස ඉල්ලමින් යතුරු කවුළුවෙන් කෝවිල තුළට දිව දිගු කළේ ය. දිවට හානියක් සිදුවුවහොත් තමා දුන් කවි වරමෙන් පලක් නොවන නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ශාපය අනුමත කළා ය. කාලිදාසට කවිත්වය ලැබුණේ ඒ අයුරිනි. කාලිදාස පසුව භාරතයේ ප්‍රසිද්ධ කවියෙකු විය. ඒ අනුව කාලිදාසට කවි වරම් ලැබුණු දා කාලී දේවිය විසින් කළ ශාපය ඒ අයුරින්ම විදේශයක දී හෝ සිදු වූ අතර ඔහුගේ කවීත්වය දේව වරම් තත්ත්වය විදහා පාමින් අදත් ලෝක වාසී සාහිත්‍ය රසිකයින් අතර එකසේ රැව් පිළිරැව් දේ.

ඉන්දියාවේ වික්‍රම රජතුමාගේ රාජ සභාවේ සිටි කාලිදාසත් භොජ රාජ සමයේ සිටි අප රට කුමාරදාස රජතුමාගේ මිත්‍ර කාලිදාසත් එක ම අයෙකු ද යන්න ඇතැමෙකුට ගැටළුවකි. කුමාරදාස රජු ද සංස්කෘත භාෂාව උගත් අයෙකි. ජානකි හරණය ඔහුගේ කෘතියකි. ඔහු මාතර ප්‍රදේශයේ සිටිය දී කාලිදාස මෙහි පැමිණි බව සංස්කෘත කාව්‍යයන්හි සඳහන් වේ. කාලිදාස හා සම්බන්ධ වික්‍රම හෝ වික්‍රමාදිත්‍ය යනු භාරතීය ගුප්ත යුගයේ විසූ චන්ද්‍ර ගුප්ත රජු බව ඇතැමුන්ගේ පිළිගැනීම ය. එපමණක් නොව කාලිදාසට ඥානාලෝකය ලැබුණේ දේව ප්‍රසාදයකින් ය යන මතය හා මෙරටට පැමිණ වෙසඟනක් අතින් මිය ගිය පුවත ඔප්පු කිරීමට තරම් පිළිගත හැකි සාධක නොමැති බව විද්වත් මතයයි. එහෙත් ජානකීහරණය රචනයෙහිලා කුමාරදාස කාලිදාසයනට ණය ගැති වී ඇති බව නිසැක මතයකි.

මහාකවි කාලිදාස සංස්කෘත සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කවියෙකුවන අතර මේඝදූතය, අභිඥාන සාකුන්තලය, සෘතුසංහාරය, රඝුවංශය ඔහුගේ උසස් නිර්මාණයන් ය. කාලිදාසගේ උපත මෙන් වාසය කිරීම පිළිබඳව ද විවිධ මත පවතී. ඇතැමුන් ඔහු බෙංගාලයේ ‘නදීයා’ නම් ස්ථානයේ ජන්ම ලාභියෙකු බවත් තවකෙකු ඔහු කාශ්මීර වැසියෙකු බවත් සඳහන් කරයි. ඇතැම් පඬිවරු ඔහු උදේනී නම් නුවර ජන්ම ලාභියෙකු බව කියති.

කාලිදාස විසින් රචිත අනෙක් ග්‍රන්ථ අතර කුමාර සම්භව, වික්‍රමමෝර්වශී, මාලවිකාග්නිමිත්‍ර සංස්කෘත ග්‍රන්ථ අතර වැදගත් වේ.

ඇතැම් විද්වත්හු සෘතුසංහාරය ඔහුගේ කෘතියක් ලෙස පිළි නොගනී. එයට හේතුව අනෙක් කෘතිවල ඇති කාව්‍යමය ලක්ෂණ හා උත්කෘෂ්ඨ බව මෙහි නොදැකී ම ය. කෙසේ වෙතත් මෙය කාලිදාසගේ මුල් ම කෘතිය බව ඔහුගේ අනෙක් කෘති හා විමර්ශනාත්මක ව බලන විට පැහැදිලි වේ. ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය එයට පසු කාලවල ලියැවුණු ග්‍රන්ථවල කාලිදාසගේ කාව්‍යමය ලක්ෂණ දක්නට විය. උපමා, ශෛලිය, ස්වාභාවික වර්ණ චරිත නිර්මාණ, පේ‍්‍රම සිතුවිලි හා අලංකාරයන්ගේ සිත්කලු බව වැනි ලක්ෂණ පසුකාලීන ලේඛකයින්ට ද බලපා ඇත.

කාලිදාසගේ කෘතිවලින් සාහිත්‍ය ඔපවත් වූවා සේම චිත්‍ර කලාව ද ඔපවත් වූ බවට සාධක එමට ය. චිත්‍ර කලාවේ සියළු සිද්ධාන්ත පිළිබඳ කාලිදාස දැන සිටි බවට කෘතිවල එන වර්ණනාවන් සාක්ෂි දරයි. චිත්‍ර කලාව පිළිබඳ ව ඔහු දක්වා ඇති විවරණ ගුප්ත කාලීන ශිල්පීන්ට බෙහෙවින් බලපෑ අතර ඔහුගේ විසිතුරු වර්ණනාවන් ඔහු ජීවත් වූ යුගයේ දියුණු චිත්‍ර කලාවක් තිබු බවට හොඳ ම නිදසුනකි. එකල ධනවතුන් හට චිත්‍ර ශාලා (ART GELARY) තිබු අතර එහි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ, රජුන්ගේ හා ප්‍රභූන්ගේ ප්‍රතිරූප තිබූ බවත් ඒ චිත්‍ර ශාලා ද්වාරයන්හී සත්ත්ව හා පක්ෂි රූප සහිත චිත්‍රවලින් අලංකාර කොට තිබු බව කියැ වේ.

කාලිදාසගේ කෘතිවලට අනුව චිත්‍ර කලාව ප්‍රත්‍යක්ෂ හා ස්මරණ යැයි දෙයාකාර බව සකුන්තලාවේ සඳහන් වේ. මේඝදූතයේ යක්ෂ පත්නිය විසින් යක්ෂයාගේ රූපය මතකයෙන් (ස්මරණ ශක්තිය) ඇඳි බව සඳහන් වේ. “මාලවිකාග්නිමිත්‍ර”යේද චිත්‍ර කලාව ගැන නන් අයුරින් විස්තර කොට ඇත. ඔහුගේ කෘති සියුම් ව අධ්‍යයන කරන්නෙකුට භාරතීය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක සම්පත්තිය, වීරත්වය, අනභිභවනීයත්වය හා සුන්දර පරිසරය සිය ඇසින් දැක කරන ලද වර්ණනා අනුව ඔහු ගුප්ත යුගයේ ඉපැදී ජීවත් වූ භාරතීය රත්නයක් බව පැහැදිලි වේ. අතීතයේ දී ආලේඛ්‍ය චිත්‍රවලට (PORTRETE) වැදගත් තැනක් හිමි විය. විවිධ පුද්ගලයින් මේ චිත්‍රවලින් නිරූපණය විය.

අජගේ ශෝකය තුනි කිරීම පිණිස ඉන්දුමතීගේ හා දශරථගේ රූපයක් බලිමන්නිකේතනයේ පූජා පිණිස තැබූ බව කාලිදාස සඳහන් කරයි. රාම, සීතා සමගින් ආපසු අයෝධ්‍යාවට පැමිණි විට ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා එහි ප්‍රාසාදයන්හී සිතුවම් කොට තිබු බව කාලිදාසගේ රඝුවංශයේ ලියා ඇත. මේ චිත්‍ර දුටු රාමට සීතා කෙරෙහි සෙනෙහසක් පී‍්‍රතියක් ඇති වී පැරැණි දුක්ඛිත සිද්ධි අමතක වූ බවත් කියැ වේ. මේ චිත්‍රවල කලාත්මක හා තාත්විකත්වය කාලිදාස විසින් දක්වා ඇත්තේ මෙසේ යි.

“අහො! රාජර්ෂෙර්වතිකා නිපුණතා! ජානෙ මෙ සඛී අග්‍රතොවර්තත ඉති”

අභිඥාණ ශාකුන්තාලයෙහි අංක 06 සහ 17 ශ්ලෝකවලින් දක්වා ඇත්තේ ද මෙවැනි ලක්ෂණයන් ය. ශකුන්තලාව ගැන සිතමින් දුකින් තැවෙන දුෂ්මන්ත ස්මරණ ශක්තියෙන් ඇයගේ ප්‍රතිරූපය චිත්‍රයට නගා තමාගේ දුක තුනීකර ගැනීමට උත්සාහ කරයි. ශකුන්තලාවගේ චිත්‍රයේ පසුතලය හංස ජෝඩු, ගලන මාලිනී නදිය මුවන්, වෘක්ෂ ලතාදිය ගැන පවා වර්ණනා කොට ඇත. මෙවන් උදාහරණ කාලිදාසගේ ග්‍රන්ථවල එමට ය. චිත්‍රවල ෂඩාංග, දුරලඟ විහිදීම, ත්‍රිමාණ හා ද්විමාණ වැනි ලක්ෂණ, මාධ්‍ය හා භාවිතය, මාධ්‍ය හැසිරවීම, වර්ණ සංකලනය ආදි චිත්‍රවල ගුණාංග හා ශිල්පී ධර්ම කෙරෙහි විවිධ උපමා සහිතව වර්ණනා කිරීමට කාලිදාස සමත් වී ඇත.

ගල් තලාවල පාට වර්ගවලින් සිතුවම් ඇඳීම, බිතු සිතුවම් (FRESCO PAINTING) ඇඳීම හා ලෑලි මත ආලේඛ්‍ය චිත්‍ර ඇඳීම කළ බව ද චිත්‍ර ඇඳීමේ උපකරණ, පින්සල් වර්ග හා පින්සල් සාදා ගැනීමේ ක්‍රම, වර්ණ සාදා ගැනීමේ ක්‍රම වර්ණවල ගුණ හා චිත්‍ර ඇඳීමේ ශිල්පීය ක්‍රම, සිද්ධාන්ත පිළිබඳව පුළුල් විස්තරයක් කාලිදාසගේ ග්‍රන්ථවල සඳහන් කොට ඇත.

අද මෙන් එකල ද දිය සායම්, තෙල් සායම් හා පාට හුණු වර්ගවලින් චිත්‍ර ඇඳි බව සඳහන් කරන හෙතෙම ප්‍රාචීන භාරතයේ විවිධ අවශ්‍යතා අනුව චිත්‍ර නිර්මාණය කළ බව පවසා ඇත. භාරතයේ අතීතයේ දී ස්ත්‍රීන්ට යම්කිසි හේතුවක් නිසා ස්වකීය පි‍්‍රයයා දක්නට ලැබුණේ රූපයක් මගිනි. ස්වයංවරයකට ආරාධනා කරන ලද රජුන් ඉදිරියේ දී විවාහයට සූදානම් වූ යුවතියගේ ස්වරූපය දක්වා සිටියේ ද චිත්‍රයක් මගිනි.

බොහෝ විට ඔවුහු චිත්‍ර මගින් ලද ආශ්වාදය අති සුන්දර ය. නිර්ව්‍යාජය ය. ඔවුන් තුළ චිත්‍රයක රස විඳීමේ ශක්තිය තිබුණි. කාලිදාස චිත්‍ර පිළිබඳ මෙසේ කියයි.

“යද්‍යත් සාධූන චිත්‍රෙ ස්‍යාත්ක්‍රියතෙ තත්තදන්‍යාථා
තථාපි තස්‍යාඩ ලාවණ්‍යං රෙඛයා කිඤවිදන්වීනම්”

“යම් වස්තුවක් ස්වභාවයෙන් ම සුන්දර නොවේ නම්, යමක ස්වාභාවික තත්ත්වය අසුන්දර නම් ඒ අවලක්ෂණ වස්තුවද චිත්‍රයේ දී සුන්දර හා රමණීය ව දක්නා ලැබේ. එහි මූල් ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් වී චිත්‍රගත වෙත් ම එහි සෞන්දර්ය ඇති වේ.” ඉහත උපදෙස් අනුව ගුප්ත කාලීන ප්‍රවීණ කලා ශිල්පීන් සිය තෙලිතුඬින් කරන ලද අලංකාර කෘති අදත් අජන්තා හා බාග් ලෙන් තුළ සුරක්ෂිත ව පවතී.

කාලිදාස මහා කවියෙකු ද පමණක් නොව කලා විචාරකයෙකි. හෙතෙම සංස්කෘත කාව්‍යයට පමණක් නොව චිත්‍ර කලාවට ද අමිල සේවයක් කොට ඇත.


(උපුටා ගැනීම සිළුමිණ)

Saturday, June 27, 2015

මලය දේශයට තවත් පිවිසුමක්: කඩුගන්නාව පහළ මාවෙල රජමහා විහාරය පිළිබඳ ව සිදුකෙරුණු නව පුරාවිද්‍යාත්මක අනාවරණය කිරීම් හා මලය දේශයේ පුරාවිද්‍යාව

අධ්‍යයන සංක්‍ෂිප්තය
පහළ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත ප‍්‍රදේශයෙ සිදුකළ පුරාවිද්‍යා, මූලික අධ්‍යයන මඟින් අනාවරණය කරගත් දත්ත වඩා පුළුල් සන්දර්භයක බහා ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පුරාවිද්‍යාව, සමාජ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික භූගෝලීය විද්‍යා දෘෂ්ටියකින් විග‍්‍රහ කිරීම මෙම පත‍්‍රිකාවේ අරමුණයි. පහළ මාවෙල රජමහා විහාරය, වළගම්බා විහාරය, මාවෙල රජමහා විහාරය ආදි විවිධ නම්වලින් අනන්‍යගත වී පවත්නා මෙම ස්ථානය මාවනැල්ල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාකඩවර ග‍්‍රාම නිලධාරි වසමේ ස්ථානගත වෙයි. වළගම්බා රජු විසින් සකස් කරන ලද විහාරයක් බව කියැවෙන මෙහි ඇතැම් අංග ගම්පොළ රාජධානි සමයේ හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය විසින් සකසන ලද බවට ද විශ්වාසයක් පවතී. කටාර කොටන ලද ගල්ලෙන් පහකින් යුත් මෙම ක්‍ෂේත‍්‍රයේ විහාරය ආශ‍්‍රිත ව දාගැබ් ගෙය, පිළිම ගෙය හා ආවාස ගෙය දැකගත හැකි වෙයි. ප‍්‍රථම වතාවට මෙම ස්ථානයෙන් ආදී බ‍්‍රාහ්මී අභිලේඛන 4ක් අනාවරණය කරගැනීමට මෙම අධ්‍යයන මඟින් හැකි විය. මෙම ස්ථානයේ මෙන් ම කල්‍යාණිප‍්‍රදේශයේ සිට මධ්‍යම කඳුකරය දක්වා විහිදුණු ආදි බ‍්‍රාහ්මී ලිපි සහිත පිළිකුත්තුව, ලෙනගල, දීවෙල හා හීනටිපොනේ ආදී ස්ථාන රැසක් මඟින් මධ්‍යම දේශය දක්වා පිවිසුම් මඟක් සනිටුහන් කරන බව හඳුනාගත හැකි වෙයි. දිවයිනේ උතුරු, බටහිර හා හැගෙනහිර දෙසින් ආරම්භ වී මළය දේශය වෙත පැවැති පිවිසුම් මාර්ග මෙන් ම උක්ත මාර්ගය ද තෙත් කලාපය ඔස්සේ මලය දේශය වෙත ප‍්‍රවේශ වූ බව සිතිය හැකි වෙයි. මාවෙල විහාරය ද අයත් විස්තෘත කලාපයෙන් මධ්‍යශිලා, නවශිලා හා මූල ඓතිහාසික යකඩ යුග නිරූපණය කරන සාධක රැසක් අනාවරණය වීම මගින් මෙම කලාපයේ පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වෙනස් වීම ප‍්‍රතිනිර්මාණය කිරීමට හැකි වෙයි. මේ අනුව දිවයිනේ බටහිර කලාපයේ සිට මධ්‍යම කඳුකරය දක්වා තීරය මධ්‍යශිලා නවශිලා මූලඓතිහාසික යකඩ යුගය ඓතිහාසික යුගය යනුවෙන් ප‍්‍රධාන ස්තර තුනකින් සමන්විත ක‍්‍රමාවලියක් ගොඩනඟන බව පෙනේ. මෙමගින් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා මලය රට වෙත මානවයාගේ සංක‍්‍රමණය පැහැදිලි කරන සංස්කෘතික මාවතක් සනිටුහන් කරයි.  ඒ අනුව, ඓතිහාසික යුගයේ මූලාශ‍්‍ර තුළ අඩු සැලැකිල්ලක් ලැබී ඇති මලය දේශය වෙත උතුරු, නැගෙනහිර මෙන් ම බටහිර දෙසින් ද සිදු වූ සම්පත් හුවමාරු මාර්ග ප‍්‍රතිනිර්මාණය කිරීමට හැකි වෙයි. මෙම සාධක මධ්‍යම කඳුකරයේ සම්පත් පරිහරණය හා හුවමාරුව, සමාජ පුරාවිද්‍යාව හා මූල ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා නිර්මිත සුසමාදර්ශය පෝෂණය කිරීම සඳහා සාදාරණ වන බව තහවුරු වෙයි.
මූල පද : මාවෙල රජමහා විහාරය, ආදී බ‍්‍රාහ්මී අභිලේඛන,  මූල ඓතිහාසික යකඩ යුගය, පුරාවිද්‍යාත්මක භූ දර්ශනය, මලය දේශය
පළමු වන කොටස
හැඳින්වීම
ඓතිහාසික යුගයේ මලය දේශය, මලය රට්ඨ ආදී වශයෙන් හඳුනාගන්නා ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර කලාපය නව්‍ය හා අර්ථකථනාත්මක පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් යුක්ත ව විග‍්‍රහයනට බදුන් කිරීම තවමත් පසුගාමි තත්වයක පසුවෙයි. පුරාවිද්‍යාඥයන් කීපදෙනෙකු විසින් මධ්‍යම කඳුකරය පිළිබඳ සමාජ හා පුරාදේශගුණ විද්‍යාත්මක දෘෂ්ටීන් ඔස්සේ අධ්‍යයනය කිරීමට සාර්ථක උත්සාහයක් ගෙන ඇති අතර මෙම අධ්‍යයනය මඟින් මධ්‍ය කඳුකරයේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් සාදාරණ දායකත්වයක් දක්වනු ඇතැයි උපකල්පනය කෙරේ. ලංකාවේ වර්තමාන අගනගරයේ සිට මධ්‍යම කඳුකරයට ප‍්‍රවේශය සපයන කොළඹ-මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මර්මස්ථාන පිහිටුමක් පෙන්නුම් කරන පහළ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත කලාපය සම්බන්ධයෙන් සිදුකරන ලද ආරම්භක හා මූලික අධ්‍යයනය මඟින් අනාවරණය කරගන්නා ලද දත්ත හා ඒවායේ සමෝධානාත්මක ඵලයන් මෙම පත‍්‍රිකාව මඟින් ඉදිරිපත් කෙරේ.
ක්‍ෂේත‍්‍රයේ ස්ථානගතවීම
මාවෙල රජමහා විහාරය, වලගම්බා විහාරය, පහළ කඩුගන්නාව පහළ මාවෙළ රජමහා විහාරය ආදී විවිධ නම්වලින් අනන්‍යගත වී පවත්නා මෙම බෞද්ධ ක්‍ෂේත‍්‍රය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාෂයට අයත් මාකඩවර ග‍්‍රාම නිලධාරි වසමේ ස්ථානගත වෙයි. පුරාණ පාලන ඒකක බෙදීම් අනුව සතර කෝරළයේ ගනේ පත්තුවට මෙම ක්‍ෂේත‍්‍රය අයත් විය. නිරපේක්‍ෂ වශයෙන් උත්තර අක්‍ෂාංශ 0715’14” හා නැගෙනහිර දේශාංශ 80 29’ 54” ස්ථානගත වීමක් සටහන් වෙයි. කොළඹ-මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මානවැල්ල-ගනේතැන්න පසුකොට කඩුගන්නාව දුර්ගයේ පළමු අර්ධය පසු කරන විට සම්මුඛ වන කඩුගන්නාව පැරණි අම්බලම ඉදිරියෙන් ආරම්භව ගමන් ගන්නා පදික මාර්ගයේ මීටර් 500ක් පමණ ගමන් කිරීමේදි ප‍්‍රස්තුත ස්ථානයට ප‍්‍රවේශ විය හැකි වෙයි. වර්තමානයේ උඩුනුවර ලංකාතිලක විහාරයට අයත් ප‍්‍රධාන උප විහාර 5න් එකක් වශයෙන් මෙම විහාරයේ පාලන කටයුතු සිදු වෙයි.
පූර්ව අධ්‍යයන
ලාංකේය පුරාවිද්‍යා වංසකතාව පිරික්සා බැලීමේදි මෙම ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ අවම වශයෙනි. කෑගල්ල දිස්ත‍්‍රික්කය සම්බන්ධයෙන් ප‍්‍රශස්ත රචනයක් සැපැයූ හැරී චාල්ස් පර්විස් බෙල් විසින් තම වාර්තාවේ මෙම විහාරය සම්බන්ධයෙන් සංක්‍ෂිප්ත විස්තරයක් සපයයි. මහනුවර යුගයේ ප‍්‍රාථමික අධ්‍යාපනය හා සම්බන්ධ ග‍්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොත පිළිබඳ ව විචාරයක් ඉදිරිපත් කළ පන්නිල සාරානන්ද හා  ඕපාත ශ‍්‍රී සරණංකර යන හිමිවරුන් විසින් මෙම විහාරය පිළිබඳ ව සංක්‍ෂිප්ත විචාරයක් සපයා එම ස්ථානය විහාර අස්නේ දැක්වෙන මාවෙල විහාරය වශයෙන් හඳුනාගනී.
යටගියාව
මානවවංශ විද්‍යාත්මක සාධක අනුව මෙම විහාර වලගම්බා රජු මලය දේශයට වැදී අප‍්‍රකට දිවියක් ගතකරන සමයේ තම පරිහරණය සඳහා යොදාගෙන පසුව විහාරයක් බවට පරිවර්ථනය කරන ලද බව කියැවෙයි. එමෙන්ම ගම්පොල රාජධානි සමයේ හෙණකඳ බිසොබණ්ඩාර දේවිය විසින් මෙම විහාරයේ කර්මාන්ත සිදුකරන ලද බවත් ජනප‍්‍රවාදයේ එයි.  තත් අධ්‍යයනය මඟින් මෙම විහාරය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවයන යටගියාවකින් යුක්ත බව නිසැක ලෙස ම තහවුරු කිරීමට අවැසි සාධක පූරණය කරයි.
ක‍්‍රමවේදය හා උපකරණ
මෙම අධ්‍යයනය සඳහා පහත දැක්වෙන ක‍්‍රමවේදය අනුගමනය කරන ලද අතර පහත දැක්වෙන උපකරණයන්ගේ පිටිවහල ලබාගන්නා ලදී.
පර්යේෂණ ක්‍රමවේදය

උපකරණ: මීටර් 20 මිනුම් පටිය, ඩිජිටල් කැමරාව, බයිනෝක්‍යුලර්, ජී.පී.එස්, උපකරණය, ක්‍ෂේත‍්‍ර සටහන් පොත්
පුරාවිද්‍යාත්මක සාධකමෙම ක්‍ෂේත‍්‍රය කටාර කපන ලද ගල්ලෙන් 5කින් සමන්විත වෙයි. එයින් තුනක් විහාරය ආශ‍්‍රිත ව ස්ථානගත වන අතර දෙකක් විහාරයට මීටර් 50-100 නුදුරින් පිහිටා ඇත. විහාරය ආශ‍්‍රිත ව චෛත්‍ය ශාලාව, පිළිම ගෙය හා ආවාස ගෙය දැකගත හැකි වෙයි.  චෛත්‍ය ශාලාව තුළ අඩි 11.6ක් උසකින් යුතු ස්තූපය පිහිටා ඇති අතර අවස්ථා ගණනාවක දී නිධන් පහරන්නන්ගේ අබාධයට ලක් ව ඇත. එම ස්තූපය හෙණකඳ බිසෝබණ්ඩාර දේවීය විසින් සාදවන ලද්දක් බව ද විශ්වාස කෙරේ. නමුත් එම ස්තූපය සකස් කොට ඇති ගඩොළු පිළිබඳ අපගේ නිරීක්‍ෂණ අනුව ඉතා පැරණි කාලයකට අයත් විය හැකි බව උපකල්පණය කළ හැකි වෙයි. චෛත්‍ය ශාලාවේ ප‍්‍රවේෂය ඓතිහාසික යුගයේ මුල් කාලයට අයත් විය හැකි සඳකඩපහණක්, කොරවක්ගල් 2ක් හා පඩිපෙළකින් සමන්විත වෙයි. මෙයින් දකුණු කොරවක්ගල මත ආදීම බ‍්‍රාහ්මී ලේඛනයකි. (විස්තර සඳහා අභිලේඛන ශීර්ෂය යටතේ බලන්න) පිළිමගෙය තුළ අඩි 36ක දිගකින් යුතු මහනුවර ප‍්‍රදේශයේ දී හමුවන විශාලම සැතපෙන බුදුපිළිමයකි. ශ‍්‍රාවක ප‍්‍රතිමා මෙන් ම විශ්ණු ආදී දේව ප‍්‍රතිමාවන්ගෙන් ද සමන්විත මෙම විහාරය මහනුවර යුගයේ සිතුවම් සම්ප‍්‍රදාය නිරූපණය කරන සිතුවම් පෙළකින් ද සමන්විත වෙයි. රහතන් වහන්සේලා, රටා හා සැරසිලි මෝස්තර ආදියෙන් මෙම සිතුවම් සමන්විත වෙයි.
අභිලේඛන
පළමු වතාවට මෙම ක්‍ෂේත‍්‍රයෙන් ආදීම බ‍්‍රාහ්මී යුගයට අයත් අභිලේඛන 3ක් මේ දක්වා අනාවරණය කරගැනීමට මෙම අධ්‍යයන මගින් හැකි වී ඇත (මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍ෂේත‍්‍රයෙන් තවත් අදී බ‍්‍රාහ්මී අභිලේඛනයක් අනාවරණය කොටගෙන ඇත.) මෙම ක්‍ෂේත‍්‍රයේ විසිරී ඇති කටාර කපන ලද ගුහාවන්ගේ කටාරයට පහළින් ලිපි 3ක් දැකගත හැකි අතර අනෙක චෛත්‍ය ශාලාවට පිවිසෙන ස්ථානයේ කොරවක්ගල මත සටහන් ව ඇත. ක්‍ෂේත‍්‍රය හා තදාසන්න ගුහාවක කටාරයට පහළින් නිරූපණය කරන ලද චතුරස‍්‍රාකාර සංකේතය ද වැදගත් අනාවරණය කිරීමකි.
[1] [පරු]ම(ක) (කු)යන ච ගපති ශම කුලශ [ලෙනේ]
ප‍්‍රමුඛ කුයන ද ගෘහපති ශම පවුලේ ද ලෙනයි
අභිලේඛන අංක 1


[2] (1) (ප)රුමක.. ම .. හ .. [ඣ]
(2) (ක ච .. .. .. ..)
ප‍්‍රමුඛ . . . .
අභි‍ලේඛන අංක 2

3] බතිමශ
බත්තිම (නම් තැනැත්තා)ගේ
අභිලේඛන අංක 3
[4]   සමචතුරස්‍රාකාර සංකේතයකි - [බ]

අභිලේඛන අංක 4


දෙවන කොටස
විස්තෘත කලාපය - පුරාවිද්‍යාත්මක භූ දර්ශනය හා එහි ගතිකත්වය
මාවෙල විහාරයෙන් අනාවරණය වූ සාධක විස්තෘත කලාපයක තබා විග‍්‍රහ කිරීම මෙම ක්‍ෂේත‍්‍රයේ පවත්නා වැදගත්කම ඉස්මතු කරගැනීමෙහිලා වැදගත් වෙයි. මෙම අධ්‍යයනයට බඳුන් වූ ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වන ආදීතම සාධක මූල ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 500-ක‍්‍රි.ව. 300) දක්වා දිවයයි. එහෙත් කොළඹ සිට මහනුවර වෙරළබඩ තැන්න අඩතැන්න හා කඳුකරය දක්වා තීරය පරික්‍ෂා කිරීමේදී ප‍්‍රාග් ඓතිහාසික තත්වයන්ගේ සිට සාධක සංකේන්ද්‍රණය වන බව තහවුරු වෙයි. එබැවින්, කොළඹ -මහනුවර දක්වා තීරයේ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක අධ්‍යයන අනුව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ සිදු වූ වෙනස්කම් පිළිබඳ අවධානයක් යොමු කිරීම වැදගත් වනු ඇත. ඒ අනුව අනාවරණය වන පැරණිම සාධක ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයයි.
ගම්පහ වාරණ, අලවල පොත්ගුල්ලෙන, කිතුල්ගල බෙලිලෙන හා අත්තනගොඩ අළුලෙන ආදී ස්ථාන මඟින් නිසැක ලෙස ම මධ්‍යශිලා යුගයට අයත් සාධක අනාවරණය වන බව තහවුරු වෙයි. එමෙන් ම වරකාපොළ දොරවකකන්ද හා ගම්පහ වාරණ යන ස්ථාන මඟින් "පශ්චාත් මධ්‍යශිලා" තත්වයක් පිළිබඳ සාධක අනාවරණය වන බව පෙන්වා දීමට පුරාවිද්‍යාඥයෝ සමත් වී ඇත. (එහෙත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු තත්වයක් පවතී.) එනම් මධ්‍යශිලා යුගයෙන් පසුව හා ප්‍රොටෝ ඓතිහාසික යුගයට පෙර නවශිලා යුගය නිරූපණය කරන සාධක අනාවරණය වන ක්‍ෂේත‍්‍ර මෙම ප‍්‍රදේශයේ ස්ථානගත වන බව සැකයකින් යුතු ව වුවත් පැහැදිළි වෙයි.

සිතියම් අංක 1 - ප්‍රාග් ඓතිහාසික ස්ථානයන්ගේ ව්‍යාප්තිය


මෙම විස්තෘත කලාපයට අයත් අලවුව හක්බෙලිකන්ද, වරකාපොළ දොරවකකන්ද හා මොලගොඩ ආදි ස්ථාන මඟින් ප‍්‍රාථමික ශෛලියට අයත් ගුහා සිතුවම් (engravings) හමු වන බව පෙනී යයි.
පසුව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වෙනස පැහැදිළි කරමින් ප්‍රොටෝ ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 1,000-ක‍්‍රි.පූ. 500)නිරූපණය කරන සාධක රැසක් ද මෙම කලාපයෙන් අනාවරණය වෙයි. ඒ අනුව කලඔටුවාව, ගල්අතර, රුවන්වැල්ල, අස්මඬල හා රඹුක්කන පදවිගම්පොල යන ස්ථාන මඟින් මෙම අවධියේ සාධක අනාවරණය වෙයි.
සිතියම් අංක 2 - ප්‍රොටෝ ඓතිහාසික ස්ථාන

එයින් පසු මූල ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 500-ක‍්‍රි.ව. 300) යුගය නිරූපණය කරමින් කටාර කපන ලද ගුහා ක්‍ෂේත‍්‍ර මෙන් ම ආදිම බ‍්‍රාහ්මී අභිලේඛන සහිත ස්ථාන හමු වෙයි. ඒ අනුව පිළිකුත්තුව, වාරණ, ලෙනගල, සල්ගහවනේ, අටුගොඩ, දීවෙල, ධනගිරිගල හා හීනටිපොනේ මෙන් ම මෙම අධ්‍යයනයේ ඉලක්කගත ක්‍ෂේත‍්‍රය වන මාවෙල රජමහා විහාරය ද අයත් වෙයි. තත්කාලීන පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ ලක්‍ෂණ නිරූපණය කරන උච්ච ම ස්ථානය වශයෙන් මාවෙල වැඩිදුරටත් හඳුනාගත හැකි වෙයි. මෙම අභිලේඛන තුළ ”පරුමක” වැනි පූර්ව රාජ්‍ය සමයේ නියෝජනයක් විය හැකි අභිධාන අන්තර්ගත වී තිබීම බෙහෙවින් ම සැලැකිල්ලට ගත යුත්තෙකි.
සිතියම් අංක 3 - ආදී බ්‍රාහ්මී අභිලේඛන ව්‍යාප්තිය


මෙම ආදීම අභිලේඛන අතර පූර්ව රාජ්‍යය යුගයේ පැවැති පාලන අධිකාරි පිළිබඳ සාධක අන්තර්ගත වූ අභිලේඛන සහිත ස්ථාන වූ යටහලෙන, ගොනාවත්ත හා බඹරගල යන ස්ථානයන් පිළිබඳ සාධක ස්ථානගත වී ඇත. මෙම ස්ථාන අතර කේන්ද්‍රීය ස්ථානගත වීමක් මාවෙල විහාර ක්‍ෂේත‍්‍රය පෙන්නුම් කරයි.
සිතියම් අංක 4 - පූර්ව රාජ්‍ය පාලන අධිකාරි

සිතියම් අංක 5 - විවිධ පුරාස්ථානයන්ගේ ව්‍යාප්තිය

උක්ත සාධක පිළිබඳ ව සලකා බැලීමේදී නිසැක වශයෙන් ම සමාජ-තාක්‍ෂණික වශයෙන් සිදුවන්නා වූ වර්ධනයට සාපේක්‍ෂකව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වූ වෙනස්වීම් මැනවින් සටහන් කරන බව පෙනී යයි. එය පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට ක‍්‍රමාවලියක් නිරූපණය කරන බව හඳුනාගත හැකි වෙයි.


සමෝධානාත්මක කථිකාව
උක්ත කරුණු අනුව ලංකාවේ බටහිර වෙරළ කලාපයේ ස්ථානගත වූ කොළඹ සිට මධ්‍යම කඳුකරයේ මහනුවර දක්වා අවිච්ජින්න සංස්කෘතික මාවතක් ගමන් ගන්නා බව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ ක‍්‍රමික වෙනස්වීමේ ලක්‍ෂණ අනුව මැනවින් පෙනී යයි. එනම් ප‍්‍රාග් ඓතිහිසික යුගයේ සිට වර්තමානය දක්වාම පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ක‍්‍රියාත්මක වූ ද්විපොෂණාත්මක සංස්කෘතික මාවතක් පැවැති බව පෙනී යන අතර ම ඒ ඔස්සේ මධ්‍යශිලා මානවයා කඳුකරයේ සිට පල්ලම් බැසීමටත් නොහොත් මහඑළියේ සිට බෙල්ලන්බැඳිපැලැස්ස හරහා දක්‍ෂිණ වෙරළ තීරය දක්වා පල්ලම් බැස වෙරළ තීරය ඔස්සේ බටහිර වෙරළට පැමිණ නැවැතත් තමන්ගේ අවසන් නවාතැන වෙත සොයා කඳු තරණය කළ බවත් උපකල්පනය කිරීමට යම් සම්භාවිතාමය අවස්ථාවක් මෙයින් හමු වෙයි. මෙම ද්වි ස්වරූපී ගමනේ පිවිසුම් ද්වාරයක් කඩුගන්නාව පහළ මාවෙළ ස්ථානය අයත් කරගන්නා බව පැහැදිළි වෙයි. වර්තමානයේ භෞතික වශයෙන් ශේෂගත වී පවත්නා කටාර කැපීමට ලක් වූ ගුහා හා ආදීම බ‍්‍රාහ්මී ලේඛන මෙයට සාධක සපයයි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතිය පිළිබඳ තවත් පිටුවක් මෙම ස්ථාන හා ආබද්ධ බව විධිමත් දීර්ඝකාලීන අධ්‍යයන මඟින් අනාවරණය කරගත හැකි බව නිසැක ය.
නිගමන
ඉහත විග‍්‍රහය අනුව ශ‍්‍රි ලංකාවේ බටහිර වෙරළ තීරයේ සිට මධ්‍යම කඳුකර කලාපය වෙත ඇදී ආ හා මධ්‍යම කඳුකරයේ සිට වෙරළ තීරය දක්වා ඇදී ගිය සංස්කෘතික මාවතක් පිළිබඳ සාධක අනාවරණය කරගත හැකි වෙයි. වර්තමාන සමාජ-ආර්ථික පසුබිම තුළ දිවයිනේ කැපීපෙනෙන මාවතක් වන සේම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම තත් මාවත වැදගත් වු බව පෙනී යයි.  මෙම පත‍්‍රිකාවෙන් ඉදිරිපත් කළ කේන්ද්‍රිය ක්‍ෂේත‍්‍රය වූ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත මෙම සංස්කෘතික මාවතේ ”කඩදොරක” ස්වභාවයක් නිරූපණය කළ බව උපකල්පනය කළ හැකි වෙයි.















 ලිපියෙහි සම්පත් දායකත්වය
චන්දිම බණ්ඩාර අඹන්වල
මහින්ද කරුණාරත්න
උපුටා ගන්නා ලද්දේ...
http://si.archaeology.lk/article.php?articleID=1318

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • Ambanwala, C.B. & M. Karunaratna, (2009) Another Approach to the Malaya Desa in Ancient Sri Lanka: New Archaeological Revelation in and around Pahala Mavela Temple at Kadugannava, Peradeniya University Research Sessions - PURSE 2009, University of Peradeniya, Sri Lanka.
  • Bell, H.C.P. (1904) Report on The Kegalla District of the Province of Sabaragamuwa, Archaeological Survey of Ceylon.
  • Gunawardhana, R.A.L.H. (1998) Prelude to the State An Early phase in the Evolution of Political Institutions in Ancient Sri Lanka, Reflection on a Heritage, Central Cultural Fund, Sri Lanka.
  • Nandadeva, B.D. (1986) Rock Art Sites Of Sri Lanka: A Catalogue, Ancient Ceylon No. 6, Department of Archaeology, Sri Lanka.
  • Paranavitana, S. (1970) Inscriptions of Ceylon Vol.I, Archaeological Survey of Ceylon, Colombo.
  • Perera, N. (1996) Excavations of Early Historic Clay Cist Graves Attanagalla Kalotuwawa In Gampaha District" Department Of Archaeology, Colombo.
  • Seneviratna, S. (1984) The Archaeology of the Megalithic Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No. 5, Department of Archaeology, Sri Lanka.
  • Wijeypala, W. H. (1997) New Light On The Prehistory Of Sri Lanka∙ In The Context Of Resent Investigations At Cave Sites,  A thesis submitted for the degree of Doctor of Philosophy of the University of Peradeniya, Sri Lanka, (unpublished)