Friday, February 21, 2014

වැලන්ටයින් ඉතිහාසය......



ඔන්න ඉතිං අද හිතුනා මේ හැමෝම සතුටුවන, බනින වැලන්ටයින් ගැන ටිකක් හොයල බලන්න. 
දැන් ඉතිං වැලන්ටයින් හමාර වෙලා සතියකුත් ඉක්මවෙලත් ඉවරයිනේ. හදිස්සියේම මේ විදියට සටහනක් ලියන්න හිතුණෙ අපේ හිතවත් තරුණ ජෝඩුවක් මේ වැලන්ටයින් උන්මාදය නිසා, මං මහන්සි වෙලා ඉවුව රසවත් රාත්‍රී භෝජනයකුත් ප්‍රතික්ෂේප කරල වැලන්ටයින් සමරන්න ගිය නිසයි. 

ෆේස්බුක් එකේ දසුන් රාජපක්ෂ සොයුරාගේ  වැලන්ටයින් විරෝධය ගැන දාල තිබ්බ පෝස්ට් එකේ, මෙන්න මේ විදියට තමයි වැලන්ටයින් ගැන අමිල සම්පත් සොයුරා සඳහන් කරල තිබ්බේ. 

පුරාණ රෝම දේව කථා අනුව "ජුනා" තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන.
මීට අමතරව දෙව්ලොව රුජින හැටියට සැලකුණෙත් "ජුනා" දෙවඟනයි.
පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා "ජුනා" දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.

මේ උත්සව සමයේදී තිබූ තවත් අපූරු චාරිත්‍රයක් තමයි රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දැමීම. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. තමන්ගේ අතට ලැබුණූ තුණ්ඩුවේ නම සහඳන් යුවතිය සමඟ අර උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණූ බොහෝ දෙනා නතර වුණේ ස්ථීර විවාහයෙන්.

"ජුනා" දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි ඉතිහාසය කියන්නේ. රෝම පුරාණයට අනුව මේ සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවති බව කියවෙනවා.

ඔහොම ඇවිත් දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ කාලයත් උදා වුණා. සියල්ල කනපිට හැරුණෙ ඔය කියන නරුම රාජ්‍ය සමයේදීයි.

ක්ලෝඩියස් යුද උම්මන්තකයෙක්. ඔහුට බලවත් උවමනාවක් තිබුණා රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. ක්ලොඩියස්ගෙ උමතුවට තරුණයන් නම්මගන්න බැරි වුණා. තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. ඔවුන් ඒ වන විට තමන්ගෙ පවුලට, බිරියට පෙම්වතියට තදින් ඇළුම් කරමිනුයි සිටියේ. ක්ලෝඩියස්ට මල පනින්නේ ඔය තත්ත්වය මතයි. ඒ නිසා ඔහු කසාද බැඳීම තහනම් කරල නියෝගයක් දැම්මා.

එහෙත් එක් පුද්ලයෙක් නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. ඒ තමා වැලන්ටයින් පූජකතුමා. පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම වැලන්ටයින් පූජකතුමාගේ ප්‍රියතම කටයුත්තක්. ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් පූජකතුමා තරුණ තරුණයින්ව රහසින් විවාහ කළා.

ඒත් එතුමාට මේ ආදර මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. වැලන්ටයින් පූජකතුමා හිරේ වැටුණා. රෝම තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු විසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න ගත්තා. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් පවට පත්වුණා. 

මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතා කරන්න. ප්‍රතිඵලය වුණේ භක්තිමත් බැඳීමක් හට ගැනීමයි. මේ අතර ක්ලෝඩියස් වැඩේ අත්හැරියෙ නැහැ. වැලන්ටයින් පූජකයව කියල නම්මගන්න බැලුවා. ගහල අතපය කඩල නම්මගන්න බැලුවා. එයත් අසාර්ථකයි. අන්තිමේදී හිස ගසා මරා දමන්න අණ කළා.

ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණා. පෙබරවාරි 14 දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජුනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි.

අවසන් හුස්ම හෙළන්න කලින් වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාරයේ පාලකයා ගේ දියණියට ලිපියක් ලියා තිබුණා.

"Love From Your Valentine"

මෙයින් පසුව ආදරයේ නාමයෙන් "ජුනා" දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන "වැලන්ටයින්" මුනිවරයාට ලැබුණා.

ශ්‍රී ලංකාවේ මේ වැලන්ටයින් සැලකියයුතු මට්ටමින් සැමරීම ආරම්භ වුණේ 1990 දශකයේදී විතර. අපේ රටේ නම් මේ දිනය ආගමික ස්වරූපයක් නොගන්නා මුත් හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී. වැලන්ටයින් පූජකයාගේ දේහය මිහිදන් කරනු ලැබූයේ පෙබරවාරි 14 වන දින හේතුව‍ෙනි මෙම දිනය ආගමික ස්වරූපයක් ගනු ලබන්නේ. පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරවරයෙක් විය. එමෙන්ම 1969 වසරේදි ඔහු සාන්තුවරයෙක් ලෙස ද නම් කෙරෙණි.


කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ යටගියාව නැවත සමාජය තුළ මතුකරන්නේ නම් කොම්පනිකාරයින්ය. ඒ පෙබරවාරි මාසය ආරම්භ වනවාත් සමගම නොයෙක් ආකාරයේ විච්චූර්ණ දෑ තරුණ පරම්පරාවේ ගොදුරු බවට පත් කරමිනි. විවිධාකරයෙන් හැඩ ගැන් වූ හදවත් කේක්, සපත්තු, ඇඳුම් හා සුබ පැතුම්පත් වලින් සුපිරි වෙළඳසැල් පිරී ඉතිරි යන්නේ, ගන්න ගන්න මෙන්න වැලන්ටයින් කියන්නාක් මෙනි. එමෙන්ම අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යන්නේද හමුවන සියල්ලන්ටම "හැපි වැලන්ටයින්ස් ඩේ" කියමින්ය. ඒ වගේම ආදරවන්තයින් පමණක් නොව සැමියා හා බිරිඳද තෑගි බෝග හුවමාරු කරමින් සුබ පතා ගන්නා තරමටම අපේ රටෙත් දැන් වැලන්ටයින් මුල් බැස ගොස් හමාරය.



වැලන්ටයින් ගැන ලියවෙච්චි ගීතයක් අහමුද එහෙනම්...


වැලන්ටයින් ශාන්ත වැලන්ටයින්
ඇයි ඔබ මේ අපේ රටේ...
පෙම්වතුන්ගෙ දිනයක් හදලා
පෙබරවාරි මස දාහතර...

ස්වීට් හාර්ට් අකුරු දිලිසෙන...
හදවත් ලාබෙට විකිණෙනවා...
වැලන්ටයින් රෝමෙන් ඇවිදින්...
අපේ හදේ ඊතළ ඇනලා...

වැලන්ටයින් ඔබට වාගෙම...
මව්වරුන්ට වැඩිහිටියන්ට...
අවුරුද්දේ දින වෙන් කරලා...
ඒරොප්පෙන් ආ චාරිත්ර...

තුන්සිය හැටපස් දවසේම...
කාටත් සළකන පෙම් කරන...
අපට වෙනම දින මොනවටද...
වැලන්ටයින් රෝමෙට යන්න...

ගායනය - නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

ගීතය අහන්න මෙතනින්...